ඉදිරි වසර පහ ඇතුළත රටේ ආර්ථිකය පූර්ණ ලෙස ස්ථාවර කරන බව ජනාධිපති වික්‍රමසිංහ, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (1) පැවසීය.


ප්‍රධාන කුළුණු 4ක් ඔස්සේ රට ගොඩනගන බව කී ජනාධිපතිවරයා, ඊළඟ වසර 25 ඇතුළත ලංකාව  ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්කරන ගමන ආරම්භ කරන බවද පැවසීය.

"ජාතික පරිවර්තන මාර්ග සිතියම රටට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.

 ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ගත වූ මාස 9ක කාලය තුළ රජය ගනු ලැබූ ප්‍රයත්නයන් නිසා රට මේ වන විට ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත්, ඊට දායකවූ රජයේ නිවැරදි ප්‍රතිපත්තිවලට මෙන්ම ජනතාවගේ සාමූහික කැපවීමට ස්තූතිවන්ත වන බවත් පැවසීය


 ජාතියේ ප්‍රගතිය පිළිබඳව නිරන්තරව ජනතාව හමුවේ තැබීමට තමන් කටයුතු කරන බව පැවසූ ජනාධිපති වික්‍රමසිංහ, වසරේ අවසාන කාර්තුවේදී ජාතික පරිවර්තන සැලැස්ම එළිදක්වන බවද ප්‍රකාශ කළේය .

දුෂ්කරතාවයකින් තොර ආර්ථික ස්ථාවරත්වයක් සහිත අනාගතයක් සඳහා රජය පොරොන්දු වූ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් සඳහා අඛණ්ඩව සහාය ලබාදෙන ලෙස ජනාධිපති වික්‍රමසිංහ මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.



''දුෂණ මඩින්න කාර්ය සාධක බලකායක්''


නියාමන, ප්‍රසම්පාදන සහ දේශපාලන යන සියලු අංශයන්හි දූෂණ සම්පූර්ණයෙන් අත්හිටුවීම සඳහාත්, ඩිජිටල්කරණය සහ වගවීම පදනම් කරගත් රාජ්‍ය යාන්ත්‍රණයක් තුළින් දූෂණ විරෝධී පිළිවෙත් ක්‍රියාත්මක කරලීම සඳහාත් විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පහසු කටයුත්තක් නොවූවත් සෑම විටම රටට යහපත් දේ සිදු කිරීමට රජය කැපවී සිටින බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ගන්නා තීරණ කෙතරම් දූෂ්කර සහ වේදනාකාරී වුව ද අනාගත පරපුර වෙනුවෙන් රට යළි ඉහළට ඔසවා තැබීමට හැකි වන්නේ එම දුෂ්කර මාවතේ නිවැරදි ප්‍රතිපත්ති අනුව ඉදිරියට යාමෙන් පමණක් බවද කියා සිටියේය.

 වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය ජනතාව ඉල්ලා සිටි ඉල්ලීම් 3ක් වන, දූෂණය මැඩලීම, සමාජයේ දිළිඳු සහ අසරණ කොටස් ආරක්ෂා කර ගැනීම, රජයේ ක්‍රියාමාර්ග සහ පිළිවෙත් හි විනිවිදභාවය සහතික කිරීමට රජය සක්‍රීයව කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.


රට හදන යෝජනා ගන්න සංගායනාවක්

 ඵලදායි ව්‍යාපාර යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා සංඝායනා ක්‍රමවේදය හඳුන්වා දෙන බව ජනාධිපති වික්‍රමසිංහ සඳහන් කළේය. මෙම නව ක්‍රමය තුළින් අමාත්‍යවරුන්, නිලධාරීන්, විෂය ප්‍රවීණයන් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන් සම්බන්ධ වී, එහි පැන නගින බාධා විසඳීමට සහ පෞද්ගලික අංශය සක්‍රීයව සම්බන්ධ කරගනිමින් ආයෝජන සහ ව්‍යාපෘති පහසුවෙන් ක්‍රියාත්මක කිරීමට පහසුකම් සපයයි.


රටේ ආර්ථිකය පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමේ ක්‍රියාදාමයට අවශ්‍ය තාක්ෂණික සහ තිරසර ප්‍රයත්නයන් ක්‍රියාත්මක කරලීම සඳහා පුද්ගලික අංශයේ යෝජනා ලබා ගැනීමට සංඝායනා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ද ජනාධිපති වික්‍රමසිංහ ජාතිය අමතමින් පැවසීය.

නවීන ලෝකයට හා නවීන තාක්ෂණයට ගැළපෙන පරිදි රටේ ආර්ථිකය හැඩ ගස්වා නොගත හොත් රට ආපස්සට ගමන් කරන බවත් එහි අවසානය රට ආර්ථික යටත් විජිතයක් වීම බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, අලුතින් සිතා අලුත් ගමනක් යාමට කටයුතු කළ යුතු අතර ඊට අවශ්‍ය කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවිය යුතු බවත් අවධාරණය කළේය.


 සංවර්ධනය සහ සෞභාග්‍යය සඳහා වූ මාර්ග සිතියම සඳහා  ජනතා අදහස් එක්රැස් කිරීම වෙනුවෙන් ‘මහජන දිනයක්’ සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ජනාධිපති අවධාරණය කළේය. සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම මහජනතාවට දැක බලා ගැනීමට සහ එම ක්‍රියාවලියේදී පැන නගින ඕනෑම අභියෝගයක් හඳුනාගැනීමටත් ඒ සඳහා විසඳුම් සෙවීමටත් මෙම විනිවිදභාවය උපකාරී වනු ඇති බවද ඔහු පැවසීය



''දුෂ්කර ගමන විඳගත් සැමට ස්තුතියි''


වෙහෙසීමේ, කැපවීමේ සහ ඉලක්කගත නිවැරදි ගමනක් යෑමේ ප්‍රතිඵලය අද සියලු රට වැසියන් භුක්ති විඳින බවත් 70%ක් දක්වා ඉහළ නැග තිබු උද්ධමනය 25.2% ක් දක්වා පහලට ගෙන ඒමට හැකිව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී කීය.

ජනතාවගේ ජීවන බර ක්‍රම ක්‍රමයෙන් සැහැල්ලු වෙමින් පවතින අතර මුළුමහත් සමාජයටම එම සහනය දැනෙන්නට පටන් ගෙන තිබෙන බව ද කියා සිටියේය.

පැමිණි අසීරු ගමනේ දී සියලු දුෂ්කරතා විඳගත් රටේ සමස්ථ ජනතාවට සිය කෘතඥතාව පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කරගත් අතර මෙම මාර්ගයේ ඉදිරියටම යාමෙන් දුෂ්කරතා සහ පීඩාවන් අවම කර ගනිමින් නිසැකවම රටට යහපත් ආර්ථිකයක් නිර්මාණය කරගත හැකි බව ද කියා සිටියේය.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්