ජාතික කම්කරු උපදේශක සභාවෙන් වෘත්තීය සමිති ඉවත් කිරීමට එරෙහිව අධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව තිබේ.



ආණ්ඩුව, හාම්පුතුන් හා වෘත්තීය සමිති ඇතුලත් ත්‍රෛපාක්ෂික එකතුව වන ජාතික කම්කරු උපදේශක සභාවෙන් කම්කරු ඇමැතිවරයා විසින් ප්‍රධාන පෙලේ  වෘත්තීය සමිති හතරක් ඉවත් කරමින් කියා සිටියේ ඔවුන් අවශ්‍ය සාමාජිකත්වය සම්පුර්ණ කර නොමැති බවයි.

ස්වාධීන වෘත්තීය සමිති නියෝජනය ඉවත් කර පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවලට ඒ තැන ලබා දීමේ සැලසුමක් ඇති බවට ආණ්ඩුව චෝදනාවට ලක්ව සිටී.  

නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරුවන් නියෝජනය කරන ප්‍රමුඛතම සමිතිය විසින් එම තීරණය නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙස අභියාචනාධිකරණයට පෙත්සමක් යොමු කර තිබේ.



'' නිදහස් වෙළෙඳ කලාප කම්කරුවන්ව මුලික කරගෙන වෘත්තිය සමිති පවත්වා ගෙන යන සංගමයක් විදිහට ක්ෂේත්‍රයේ අවශ්‍ය සාමාජිකත්වය අපිට තියෙනවා. ඒ වාගේම දිගු කාලෙක ඉඳන් අපි කම්කරු උපදේශක සභාව නියෝජනය කරනවා,'' යැයි නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ (FTZGSWU) සම ලේකම් ඇන්ටන් මාකස් පවසයි.




කම්කරු අමාත්‍යවරයා, කම්කරු අමාත්‍යංශ ලේකම්, කම්කරු කොමසාරිස් ජනරාල්, වෘත්තීය සමිති අංශයේ හිටපු සහකාර කම්කරු කොමසාරිස් සහ වත්මන් සහකාර කම්කරු කොමසාරිස් වගඋත්තරකරුවන් කරමින් FTZGSWU විසින් අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම ජුනි 20 වැනිදා කැඳවීමට නියමිතයි.

කම්කරු ජාතික උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති 14 ක් අතුරින් නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයට අමතරව ලංකා වෙළෙඳ, කාර්මික හා පොදු කම්කරු සංගමය [CMU], ලංකා වතු සේවක සංගමය හා  එක්සත් කම්කරු සම්මේලනය කම්කරු ඇමැති මනුෂ නානයක්කාරගේ මැදිහත්වීමෙන් ඉවත් කර තිබේ.

'' මේ සමිති ඉවත් කළේ ඇමතිවරයාට පහසු වෙන විදිහට කම්කරු නීති වෙනස් කරන්න. වෙනස් කරන්න හදන නීති ගොඩක් බලපාන්නේ පෞද්ගලික අංශයේ කම්කරුන්ට,`` යි සමිති නායක ඇන්ටන් මාකස් පෙන්වා දෙයි.



කාන්තා නියෝජනය

කම්කරුවන් හා හාම්පුතුන් අතර එකඟතාවය මතින් වැඩ පොළ තුල කාර්මික සාමය පවත්වා ගැනීමේ අරමුණින් 1994 ස්ථාපිත කළ ජාතික කම්කරු උපදේශක සභාවට පළමු වරට 2021 දී කාන්තා නියෝජනයක් වන්නේ නව සමසමාජ පක්ෂයේ අනුබද්ධ වෘත්තීය සමිතියක්ව පැවති එක්සත් කම්කරු සම්මේලනය විසින්  නීතිඥ ස්වස්තිකා ආරුලිංගම් පත් කිරීමත් සමගින්ය.

Swasthika Arulingam large
නීතිඥ ස්වස්තිකා ආරුලිංගම්



කම්කරු උපදේශක සභාව නියෝජනය කළ එකම කාන්තාවටත් කැපිල්ලක්ද?


'' සාමාජිකයෝ මදි කියලා මාව ඉවත් කළහම, ජාතික කම්කරු උපදේශක සභාව ඇතුළේ කාන්තා නියෝජනයට මොකද වෙන්නේ? අනෙක් අතට ඇමතිවරයාට අවශ්‍ය නම් ඕනෑම වෘත්තීය සමිතියක් මේ සභාවට නම්කරන්න පුළුවන්, `` යැයි එක්සත් කම්කරු සම්මේලනයේ සභාපතිනි ස්වස්තිකා ආරුලිංගම් මාධ්‍යට ප්‍රකාශ කළාය.

කම්කරු උපදේශක සභාවට නියෝජිතයන් තෝරා ගන්නේ අදාළ වෘත්තීය සමිති නම් කරන අයගෙන් බවත්, එහිදී ස්ත්‍රී පුරුෂ භේදයක් නොසලකන බවත් කම්කරු අමාත්‍යංශ ලේකම් ආර්.පී.එම්. විමලවීර මාධ්‍යට කියා තිබේ.

පෞද්ගලික අංශයේ කම්කරුවන් නියෝජනය කරන පැරණිතම වෘත්තීය සමිතියක් වන ලංකා වෙළෙඳ, කාර්මික හා පොදු කම්කරු සංගමය ද  කම්කරු අමාත්‍යංශ ලේකම් වෙත ලිපියක් යොමු කරමින් කියා ඇත්තේ  අදාළ වාර්ෂික හා මාසික වාර්තා ඉදිරිපත් කරමින්, නියෝජිත සමුළු, මහ සමුළු පවත්වමින්,  ශාඛා සමිති නිසි ලෙස මෙහෙයවන තම සංගමය කම්කරු උපදේශක සභාවෙන් ඉවත් කිරීම යුක්ති සහගත නොවන බවයි.

'' අපේ ලියුමට ප්‍රතිචාර දක්වමින් ලේකම්වරයා අපිට ලිඛිතව දන්වලා තියෙනවා  කම්කරු උපදේශක සභාවෙන් ඉවත් කළ වෘත්තීය සමිති හතරම ගැන යළි සලකා බලනව කියලා,''  CMU  නියෝජ්‍ය ලේකම්වරයෙකු වන මහින්ද අබේරත්න පවසයි.

'' කම්කරු ඇමැති උපදේශක සභාවට තෝරා ගෙන තියෙන්නේ පොදුජන පෙරමුණ, ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය, සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ වගේ දේශපාලන පක්‍ෂ වලට හා ඇමතිට හිතවත් තවත් කුඩා සමිති. ස්වාධීන වෘත්තීය සමිති ඉවත් කරලා,'' යි  CMU ප්‍රකාශකයා පෙන්වා දෙයි. 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්