අධ්‍යාපන වෘත්තීය සමිති ක්‍ෂේත්‍රය සඳහා දශක තුනකට වැඩි කාලයක් සටන්කාමී නායකත්වයක් ලබාදී ජනවාරි 03 වැනිදා අභාවප්‍රාප්ත කෘතහස්ත වෘත්තීය සමිති නායකයකු වූ පෝලියර් ගුණවර්ධනගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද (05) සිදුකිරීමට නියමිත ය.

කලක් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට අනුබද්ධව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ධූරයේ වගකීම් දැරූ පෝලියර් ගුණවර්ධන, වෘත්තීය සමිති දේශපාලනය කරා ඇදී ඒමට ප්‍රථමයෙන් මාතර අකුරැස්ස ප්‍රදේශයේ කොමියුනිස්ට් පක්ෂ තරුණ ක්‍රියාකාරිකයකු වශයෙන් කටයුතු කළේය. 

1962 ගුරු වෘත්තියට ඇතුළු වී කෙටිකලකින් ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් වශයෙන් තෝරාගනු ලැබ සක්‍රීය වැඩ කොටසක් ඉටුකළ ඔහු එයින් දශක දෙකක් ගතවීමට පෙර සංගමයේ ප්‍රධාන ලේකම්ධූරයට තේරී පත්විය.

නමුත් දේශපාලන මත වෙනස්කම් හේතුවෙන් 80 දශකය ආරම්භයේදීද පක්ෂය හැරගිය හෙතෙම පසුව, කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් වූ විමතික පිරිස් හා එක්ව 1981 දී සමාජවාදී ජනතා ව්‍යාපාරය පිහිටුවීම සඳහා පුරෝගාමී දායකත්වයක් දැරුවේ ය.

 ජේ ආර් ජයවර්ධන පාලනය විසින් ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණ චෝදනා යටතේ දියත්කළ මර්දනය හමුවේ රහසිගත දේශපාලන ජීවිතයකට මුලපිරූ ගුණවර්ධන, 1987දී අත්සන් කරන ලද ඉන්දු - ලංකා ගිවිසුම යටතේ උතුරේ දෙමළ අරගලයට සහාය දැක්වූ දකුණේ දේශපාලන ක්‍රියාකාරීන්ට පොදු සමාවක් පිරිනැමීමට ජයවර්ධන ආණ්ඩුව විසින් තීරණය කරන තෙක්ම අත් අඩංගුවට පත්නොවී රහසිගතව ක්‍රියා කළේය.

වර්ගවාදයට එරෙහිව

1980 ජූලි සමස්ත මහා වැඩ වර්ජනයේදී අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අදාළ නායකත්ව කාර්යභාරයක් ඉටු කළ පෝලියර් ගුණවර්ධන, ජාතික ස්වයං නීර්ණය සඳහා දෙමළ ජනයාට ඇති අයිතිය ආරක්ෂා කරමින් වර්ගවාදයට එරෙහි සිය දේශපාලන ස්ථාවරය සිය මරණය දක්වාම වෙනස් නොකළේය.

'80 දශකයේදී දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා වූ සංවිධිත ජාතික ව්‍යාපාරයක් ගොඩනැංවීමේලා මෙන්ම ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාව සඳහා වූ ව්‍යාපාරය (MIRJE) පිහිටුවීම සඳහා ද පෝලියර් ගුණවර්ධන විසින් සිදුකළ දායකත්වය කේන්ද්‍රීය එකකි.

ගුරු වෘත්තීය අයිතිවාසිකම් හා අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කරනු පිණිස අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගුරු හා සිසු අරගලවලට නොපැකිලව සහාය දැක් වූ හෙතෙම පසුකාලීනව ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථා සංග්‍රහය සම්පාදනය කිරීමේ කාර්යය සඳහා ද පුරෝගාමී දායකත්වයක් සපයනු ලැබුණි.

මියයන විට 74 වැනි වියේ පසු වූ පෝලියර් ගුණවර්ධනගේ අවසන් කටයතු ඔහු ජීවත් වූ හෝමාගම, ජල්තර දී අද සවස සිදුකිරීමට නියමිත ය.☐

(jdslanka.org)

81082969 3370051849733344 9209810381264912384 o

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්