පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් වූවන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝග සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට හිටපු

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු වගඋත්තරකරුවන් මෙතෙක් අපොහොසත් වී ඇතැයි චෝදනා කරමින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබේ.

කාදිනල් හිමිපාණන් වෙනුවෙන් මෝසම ගොනු කරනු ලැබුවේ, ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා ය.

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින්ම බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් ජනවාරි මස 12 වැනිදා නිකුත් කළ තීන්දුව මගින් ප්‍රකාශයට පත් කර ඇතැයි කාදිනල් හිමිපාණන් විසින් පෙන්වා දෙනු ලැබ තිබේ.

මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රුපියල් මිලියන 100 ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන රුපියල් මිලියන 75 ක් බැගින්ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50 ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10 ක්ද වන්දි වශයෙන් ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවත් කාදිනල් හිමිපාණන් පෙන්වා දී ඇත.

malcolm cardinal ranjith
මේ, වන්දි මුදල් තීන්දුව ලබා දුන් දින සිට මාස හයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් එම වන්දි මුදල් වින්දිතයින් වෙනුවෙන් ස්ථාපිත කරන අරමුදලකට බැර කරන ලෙසත් එම තීන්දුව තුලින් ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකරුවන්ට නියෝග කර තිබුණි.

එම අරමුදලේ කටයුතු සම්බන්ධීකරණය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයා වෙත තවත් නියෝගයක් ද නිකුත් කර නිකුත් කරනු ලැබීය.

ඊට අමතරව මෙම ප්‍රහාර සිද්ධියේදී රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තවත් නියෝගයක් නිකුත් කර තිබූ බවත් කාදිනල් හිමිපාණන් සිය මෝසම මගින් පෙන්වා දී තිබේ.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ මෙම නියෝග සියල්ල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට වග උත්තරකරුවන් අපහොසත් වී ඇති බව කාදිනල් හිමිපාණන් සිය මෝසම තුළින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මීට අදාළව අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් කාදිනල් හිමිපාණන් සිය නීතිඥවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මෝසම තුළින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.



හිටපු ජනපති මෛත්‍රී ඇතුලු පිරිස වන්දියෙන් කොටසක් ගෙවති



පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව ඔහු විසින් වන්දි වශයෙන් රුපියල් මිලියන 15 ක මුදලක් ගෙවා ඇතැයි වාර්තා වේ.

මෛත්‍රිපාල සිරිසේන සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මෝසමේ සඳහන් කර තිබෙන්නේ තමාට හිටපු ජනාධිපතිවරයා වශයෙන් විශ්‍රාම වැටුප් වශයෙන් මාසිකව රුපියල් 97500/- ක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දීමනා හැර රුපියල් 54,285 ක මුදලක් ද ආදායම වශයෙන් ලැබෙන බවයි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනු ලැබූ රුපියල් මිලියන 100 ක වන්දි මුදලින් ඉකුත් ජුනි මස 28 වැනිදා රුපියල් මිලියන 15 ක් වන්දි වශයෙන් හානිපූර්ණ කාර්යාලයේ පවත්වාගෙන යන පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් බවට පත් වූවන්ගේ අරමුදලට ගෙවා ඇති බවත් මෝසමේ සඳහන් කර තිබේ.

ඉතිරි වන්දි මුදල් රුපියල් ලක්ෂ 85 බැගින් වාරික 10 කින් 2024 වසරේ ජුනි මස 30 වනදා සිට 2033 වසරේ ජුනි මස 30 වන දා දක්වා කාලය තුළ වාර්ෂිකව ගෙවා අවසන් කිරීමට අවසර දෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා සිය මෝසම මාර්ගයෙන් ඉල්ලා ඇත.

ඉකුත් ජනවාරි මස 12 වනදා අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12කට අදාළව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබුණා.

තීන්දුවට අනුව අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රුපියල් මිලියන 100 ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50 ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10ක් ද වන්දි වශයෙන් ගෙවිය යුතු වෙයි.

වන්දි මුදල් ගෙවීම සඳහා එදින පටන් මාස හයක කාලයක් ලබා දීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවෙන් නියම කළේය.

ඒ අනුව මේ වන විට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රුපියල් මිලියන 15 ක් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියනයක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් රුපියල් 1, 725,588 ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 5 ක මුදලක් ද වන්දි වශයෙන් ගෙවා තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ගෙවා ඇති වන්දි මුදල රුපියල් මිලියන 4.1 කි.

ඊට අමතරව රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාරය රුපියල් මිලියනයක වන්දියක් ද ගෙවා ඇත.



හිටපු ජනපති මෛත්‍රී ඇතුලු වගඋත්තරකරුවන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කරයි



බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් 2019 අප්‍රේල් 21 වැනි දින පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ වගඋත්තරකරුවන්, පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය (ජනවාරි 12 වැනිදා) තීරණය කළේය.

සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදීන් කතෝලික දේවස්ථාන හා ආර්ථික මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු නොකිරීමට එරෙහිව වගඋත්තරකරුවන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 13ක් ගොනුකර තිබුණි.

ඒ, සරත් ඉද්දමල්ගොඩ පියතුමා ප්‍රමුඛ කතෝලික පුජකවරුන් හා ව්‍යාපාරිකයින් පිරිසක් විසිනි.

පුරා වසර දෙකකට ආසන්න කාලයක් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග කළේය.



වගඋත්තරකරුවන් කවුද?

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වන්නේ,

· හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
· හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු
· හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර
· හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්
· රාජ්‍ය බුද්ධි අංශ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන


 128271627 gettyimages 1210583642 594x5942


වින්දිතයින්ට වන්දි ගෙවීමට නියෝග


පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ට රුපියල් මිලියන 100ක වන්දි ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත්, පූජිත් ජයසුන්දර සහ නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75 බැගින් වින්දිතයින්ට වන්දි ගෙවිය යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අනුව නියෝග කළේය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු රුපියල් මිලියන 50 ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මිලියන 10ක වන්දියක් වින්දිතයින්ට ගෙවිය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර සිටියේ, අදාළ මුදල් සියල්ල එකතුකර වින්දිතයින්ට වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

ඒ අනුව ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක් සහ තුවාල ලැබූ පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ගෙවන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබීය.

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව වහාම විනය පියවර ගන්නා ලෙසද මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.

අදාළ නියෝගය ලබා දුන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසිනි.

කෙසේ වෙතත් මීට අමතරව හිටපු අග්‍රාමාත්‍යවරයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එවකට කැබිනට් මණ්ඩලය ඇතුලු 50 දෙනෙකු පමණ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහුට විධායක ජනාධිපතිවරයා ලෙස, ජනාධිපති මුක්තිය හිමිවන බවට හා ඔහුට එරෙහිව නඩුකරයක් පවත්වා ගෙන යා නොහැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව සහ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැක්වූ කරුණු සලකා බැලීමෙන් පසු, ජනපති රනිල් වික්‍රමසිංහගේ නම වගඋත්තරකරුවන්ගේ නාම ලේඛනයෙන් ඉවත් කිරීමට පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණි.



(BBC සිංහල සේවය )

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්