රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්, අධ්‍යක්ෂවරුන් හා තනතුරු සඳහා සුදුසුම පුද්ගලයන් තෝරා බේරා පත්කිරීමට ජනාධිපතිවරයා

කමිටුවක් පත්කළද එම තනතුරුවලට පත්වන්නේ සුදුස්සන්ද යන ප්‍රශ්නාර්ථය දැන් පැන නැගී ඇත.

එම කමිටුවේ සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා ජනවාරි 14 දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කළ අදහස් දැක්වීම්ද ඒ බව සනාථ කළේය.

ඔහු එහිදී කීවේ ඔවුන්ගේ කමිටුව නිර්දේශ නොකළ පුද්ගලයන්ද රාජ්‍ය ආයතනවලට පත්කර ඇති බවයි. එමෙන්ම එම කමිටුව නිර්දේශ කළ සමහර පුද්ගලයන්ට විරෝධතා එල්ලවූ බවද, ඒ හේතුවෙන් එම පුද්ගලයන්ට තනතුරු නොලැබුණු බවද ඔහු කීය.

ඔහු කීවේ සීයට සීයක් නැතත් සීයට අනූවක් පමණ වන හොඳ පත්වීම් ආරම්භයක් වශයෙන් ගත් කල හොඳ බවය.

මෙම කමිටුව ජනවාරි 02 වැනි දින ප්‍රකාශ කළේ, රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් වශයෙන් පත්කිරීමට 200ක පමණ පිරිසකගේ නම් ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කළ බවය. එම කමිටුවට 11,000ක පමණ අයැදුම්පත් සංඛ්‍යාවක් ලැබුණ බවද කියනු ලැබීය.

 

සුදුස්සන් සීයට 2යි:

රාජ්‍ය ආයතන ඇත්තේ 300කට වඩා වැඩි ගණනක්ය. එම සමහර රාජ්‍ය ආයතනවලට සමහර අමාත්‍යාංශවලින් නිල ලෙස පත්වන අධ්‍යක්ෂවරුද සිටිති. එසේ ගත් කල මේ රාජ්‍ය ආයතනවලට දහසක් පමණ පිරිසක් ප්‍රමාණවත්ය.

Text 23 1ලැබූ අයැදුම්පත් සංඛ්‍යාවෙන් සීයට 10කවත් හොඳ පිරිසක් සිට නැත්ද යන පැනය පැනනගින්නේ තවමත් රාජ්‍ය ආයතන බොහොමයක තනතුරු හිස්ව තිබීමත්, නිල කමිටුව නිර්දේශ කළා යැයි කියන ප්‍රමාණය 200ක් පමණ යැයි කීම නිසාත්ය.

එක්කෝ රාජ්‍ය ආයතන තනතුරු සඳහා අයදුම්පත් 11,000ක් ලැබුණා යැයි කීම බොරුවකි. ස්වෙච්ඡාවෙන් ‘අනේ මට සුදුසුකම් තිබෙනවා, අහවල් රාජ්‍ය ආයතනයේ අහවල් තනතුර දෙන්න’යැයි මෙතරම් පිරිසක් ඉල්ලා සිටිනවා යැයි සිතීම සමහර විට අප අපම මුලා කරගැනීමකි.

එම අයදුම්පත් සංඛ්‍යාව ඇත්තක් නම් බොහෝ විට එම තනතුරුවලට අයදුම් කරන්නට යොමුවන්නේ රාජපක්ෂ මතවාදය කරපින්නාගත් පිරිසය. එකී පිරිසෙන් සීයට 10ක් වත් සුදුස්සන් නැතැයි යැයි කීම රාජපක්ෂවාදී විද්වතුන්ගේ නිරුවත පෙන්වීමකි.

සුදුසු යැයි නිර්දේශ වූ 200ක් පමණ පිරිස යනු 11,000න් සීයට 2ක් පමණය. ආචාර්ය නාලක ගොඩහේවා කියන පරිදි ඉනුත් යම් පිරිසකට විරෝධතා එල්ලවූවා යැයි කියන්නේ රට ගොඩගැනීමේ විද්වතුන්ගේ තරම කියාපෑමකි.

ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ නිර්දේශයෙන් පිට පත්කිරීම් සිදුවී තිබේ නම් එක් අතකින් එම කමිටුව හෑල්ලූවට පත් කිරීමකි. අනෙක් අතට කමිටු නිර්දේශයෙන් පිට පත්කිරීම් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ අනුදැනුමෙන් තොරව නම් එය ජනාධිපතිවරයාද නොතකා හැරීමකි.

 

කමිටුව විහිළුවක් වීම:

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ එම කමිටුව විහිළුවක් වූයේ එය පත්කර ටික දිනකදීය. කමිටුවේ සාමාජිකයන් වූ සුසන්ත රත්නායක මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙසත්, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති ලෙසත්, ජගත් වැල්ලවත්ත මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ලෙසත් පත්වූහ.

හය දෙනෙකුගෙන් සමන්විත එම කමිටුවේ තනතුරු නොලබා දැනට සිටින්නේ ආචාර්ය නාලක ගොඩහේවා හා ඩයන් ගෝමස් පමණය. කමිටුවේ සභාපති සුමිත් අබේසිංහ මහතා කැබිනට් මණ්ඩල ලේකම්ය.

ජනාධිපතිවරයා පසුගිය වසරේ නොවැම්බර් 28 මෙම කමිටුව පත්කළ බව නිවේදනය කළ අතර රාජ්‍ය ආයතනවලට පත්වීමට සුදුසුම් ඇති පුද්ගලයන් සිය අයැදුම්පත් එම කමිටුවට එම වසරේ දෙසැම්බර් 18 දිනට පෙර ලැබෙන්නට සලස්වන ලෙස දැනුම් දෙනු ලැබීය.

මේ වනවිට එම කමිටුව මාස එකහමාරකට වැඩි කාලයක් ගත කර ඇත. රාජ්‍ය ආයතන සියල්ලටම සභාපතිවරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු අනෙකුත් නිලධාරීන් පත්කර නැත. කමිටුව තවමත් වලංගුද යන්න දන්නේ එය පත්කළ ජනාධිපතිවරයා පමණය.

තනතුරු ගත් කමිටු සාමාජිකයන් තිදෙනා තවමත් එහි සිටිනවාද නැද්ද යන්න දන්නේද එහි සාමාජිකයන් පමණය.

 

ඥාති පත්වීම්

තත්වය එසේ වෙද්දී මේ කමිටුවේ නිර්දේශයෙන් යැයි කියා අපූරු පත්වීම්ද සිදුවෙමින් පවතී. දැඩි කතාබහට ලක්වී ඇති එවැනි පත්කිරිම් දෙකක් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ මාමණ්ඩිය වූ තිලක් වීරසිංහත්, රෝහිත රාජපක්ෂගේ නැන්දම්මා වූ ඩියෙඩ්‍රි ද ලිවේරාත්, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු ලෙස පත් කිරීමය.

තිලක් වීරසිංහගේ පත්වීම සාධාරණය කරමින් ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රකාශ කර තිබුණේ වීරසිංහ විසින් යොමුකළ අයදුම්පත නිර්දේශ කරනු ලැබුයේ එම කර්මාන්තය පිළිබඳව වීරසිංහගේ ඇති අත්දැකීම් සැලකිල්ලට ගෙන බවය. එම නිර්දේශය සඳහා කිසිදු දේශපාලන බලපෑමක් නොතිබූ බවත්, සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වීරසිංහ අයදුම්පත යොමු කර තිබූ බවත් ආචාර්ය ගොඩහේවා කියා තිබුණි.

මේ පිළිබඳව තිලක් වීරසිංහ ගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ ඔහු සාමාන්‍ය ක්‍රමවේදය අනුව සිය අයදුම් පත්‍රය යොමු කළ බවත් තමාගේ අත්දැකීම් නිසා එම අධ්‍යක්ෂ තනතුර ලැබුණ බවයි. ඔහුට ගුවන් සේවා කටයුතු ගැන දැනුම ඇති බවත්, සී ප්ලේන්, හදිසි ගුවන් ගමන් හා මුදල් වෙන් කරගන්නා ගුවන් යානා සම්බන්ධයෙන් ඔහුගේ සමාගම ව්‍යාපාර කටයුතුවල යෙදෙන බවද ඔහු එහිදී කියා ඇත.

මේ පත්වීම් දෙකෙන් කලබලයට පත් අගමැති කාර්යාලය කියා තිබුණේ මේ අධ්‍යක්ෂවරුන් දෙදෙනා විධායක නොවන අධ්‍යක්ෂවරුන් බවත් ඔවුන් දීමනා ලබා නොගන්නා අය බවත්ය. එමෙන්ම  ඩියෙඩ්‍රි ද ලිවේරා මහත්මියට ගුවන් ගමන් ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති බවද කියා ඇත.

වර්තමානයේ ක්ෂේත්‍රයට සම්බන්ධ නැති අතීතයේ ඒ පිළිබඳ අත්දැකීම් තියෙන අයෙකු නම් යම් ක්ෂේත්‍රයකට පත් කිරීම එතරම් ගැටලූවක් නැත. තිලක් වීරසිංහ සම්බන්ධයෙන් ගත් කල ඔහු සංචාරක හා ඊට අනුබද්ධ ගුවන් ගමන් සේවාවල තවමත් නිරත වෙන ව්‍යාපාරිකයෙකි.

එකී ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරත වන්නකුට මෙම තනතුරට පත්කිරීම කෙතරම් සුදුසුදැයි 'විද්වතුන්' තීරණය කළ යුතුය. මන්ද මේ බොහෝ රාජ්‍ය ආයතන පිහිටුවීමේ පනත්වල එම ක්ෂේත්‍රයේ තරගකරුවන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත් නොකරන ලෙස ප්‍රතිපාදන තිබෙන හෙයින්ය.

 

මිතුරු පත්වීම්:

ඥාති පත්වීම් එසේ වෙද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ගුවන් ටිකට්පත් ඒජන්ත වශයෙන් කටයුතු කළ උපුල් ධර්මදාස සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත්කර ඇති බවට චෝදනා එල්ලවී ඇත. ඔහු ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය කේන්ද්‍ර කරගනිමින් එම කලාපයේ ගුවන් ටිකට්පත් නියෝජිතයෙකු ලෙස කටයුතු කරන බව වාර්තා වී ඇත.

මෙයද මිතුරකුටත් අමතරව අදාල ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයෙකු පත් කිරීමේ සිදුවීමකි.

එමෙන්ම එහිම උපසභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ අමිත් විජේසිංහ නැමැත්තෙකු බවත් ඔහු පෙර ශ්‍රී ලංකන් එයාලයින්හි මුදල් අයකැමියෙකු ලෙස කටයුතු කළ අයෙකු බවත් අගමැති මහින්ද රාජපක්ෂගේ හිතවත්කමට ඔහු පත්කර ඇති බවත් මාධ්‍ය වාර්තා කර ඇත.

 

නඩුවේ නීතිඥයා පත්කිරීම: 

Text 23 2ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සඳහා සභාපතිවරයෙකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් මීට පෙර පත්කළායැයි කීවද එසේ පත්කළායැයි කියූ අධ්‍යක්ෂ මණ්ඩලය ඒ ආකාරයටම ක්‍රියාත්මක වී තිබුණේ නැත. එහි ආසන්නතම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පවත්වා තිබුණේ ජනවාරි 14 වැනිදාය.

එම අධ්‍යක්ෂවරුන් අතර නීතිඥ නිශාන්ත දයානන්ද ද සිටී. ඔහු යෝෂිත රාජපක්ෂට හා කුප්‍රකට ඬේසි ආච්චිට එරෙහි ගල්කිස්ස අධිකරණයේ විභාග වන ගල්කිස්ස මිහිඳු මාවතේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ මුදල් විශුද්ධිකරණ චෝදනා නඩුවේ චූදිත පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකි.

මේ පත්වීම් මෙසේ වන්නේ කෙසේද? ජනාධිපතිවරයාගේ කමිටුවේ නිර්දේශ මතද? නැතහොත් ඒ ඒ ආයතන අයත් අමාත්‍යවරුන්ගේ නිර්දේශ මතද? දන්නේ එම පත්වීම් සඳහා නිර්දේශ හා අනුමැතින් ලබාදුන් පුද්ගලයන් පමණය.

විද්වත් යැයි කියා පටන්ගත් රාජ්‍ය ආයතන පත්වීම් දැන් විගඩමක් බවට පත්වී ඇත. එය කෝලමක් බවට පත්වී අවසන් වනු ඇත.

(ලසන්ත රුහුණගේ -අනිද්දා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්