දිවයින පුරා පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවයකට නාය යෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ

ආයතනය විසින් ඊයේ (07) නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල කොටුව, යක්කලමුල්ල, ඇල්පිටිය සහ නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම වලල්ලාවිට, සහ ඉංගිරිය, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවය සඳහා මෙම නාය යෑමේ රතු නිවේදන නිකුත් කර ඇත.

මෙම ප්‍රදේශවලට පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 150කට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් තව දුරටත් වැසි පවතීනම් නායයෑමේ අධි අවදානමක් පවතින බැවින් ආරක්ෂිත ස්ථානයකට යන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට උපදෙස් ලබා දෙයි.

බද්දේගම අවදානම්: ජනතාව ඉවත් කරයි

ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටමකට පැමිණ ඇති නිසා ඒ අවට ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටි.

පසුගිය දින කිහිපය තිස්සේ නොකඩවා ගිං ග‍ගේ ඉහල ප්‍රදේශවලට ඇද හැලුණ වැසි ජලය පහලට ගලා ඒමත් සමග මෙසේ මහා ගංවතුර මට්ටමට පැමිණ ඇත.

ඊයේ (07) සවස වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2442ක සාමාජිකයින් 6968ක් පිඩාවට පත්ව ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසිය.

මාතර පුද්ගලයන් 65,000ක පමණ අනාථයි

එමෙන්ම නිල්වලා ගඟ මාතර ගල් බැම්ම ප්‍රදේශයෙන් පිටාර ගලමින් පවතින අතර, මේ හේතුවෙන් මාතර නගරය ඇතුළු ග්‍රාමසේවා වසම් 16කට පමණ බලපෑම් එල්ල විය හැකි බව මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි පවසයි.

මාතර දිස්ත්‍රික්කයේ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයන් 65,000ක පමණ පිරිසක් පීඩාවට පත් ව සිටින බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කර තිබේ.

මාතර ග්‍රිඩ් විදුලි උපපොල ජලයෙන් යට වීමේ අවදානමක

අධික වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහල යාම නිසා මාතර විදුලිබල මණ්ඩලයේ ග්‍රිඩ් උප පොල ජලයෙන් යට වීමේ අවදානමක් ඇති බවත් අවශ්‍ය වුවහොත් ආරක්ෂිත පියවරක් ලෙස මාතර ග්‍රිඩ් උප පොල ආරක්ෂිතව වසා දමන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

එම විදුලි උප පොළෙන් සපයන විදුලිය විසන්ධි කිරීමට සිදුවන අතර විදුලිය විසන්ධි වන ප්‍රදේශවලට දෙනියාය සහ බෙලිඅත්ත ග්‍රිඩ් උප පොලවල් හරහා විදුලිය සම්බන්ධ කිරීමට විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇති බව කී අමාත්‍යවරයා එම උපපොල වසා දැමීමෙන් පසු එහි සේවය කරන විදුලිබල මණ්ඩලයේ නිළධාරීන් ආරක්ෂිතව රැගෙන ඒමට නාවික හමුදාව අවශ්‍ය යාත්‍රා ස්ථානගත කර ඇති බවද සඳහන් කළේය.

මීට අමතර ව කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර, මගුරු ගඟ සහ කළු ගඟ ආශ්‍රිත පුටුපවුල ප්‍රදේශයේ ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්