මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ කොටුව මහ බැංකු මූලස්ථානයේ අද (18) සවස පැවැති විශේෂ දේශනයකින් අනතුරුව සිදුකළ කරුණු පැහැදිලි කිරීමකදීය.
වසර 2025 ශ්‍රී ලංකා ආර්ථිකය වාර්ෂික ආර්ථික විවරණය සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජානක එදිරිසිංහ මුඛ්‍ය දේශනය පැවැත්වූවේය.
ඉන් අනතුරුව අදහස් දැක්වූ අධිපතිවරයා, මේ දිනවල ඇතැම් පුවත්පත් සහ මාධ්‍ය ශ්‍රී ලංකාවේ රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වන බවත් ඒ සමගම රටේ ආර්ථිකය යම් අවිනිශ්චිත තාවයකට මුහුණදී ඇති බවත් හැගෙන ආකාරයේ පුවත් පළ කරන බවත් පෙන්වා දුන්නේය.
එහිදී කරුණු දැක්වූ අධිපතිවරයා එවැනි ආකාරයකට රටක විනිමය අනුපාතිකයෙහි වටිනාකම ඉහළ පහළ යාම මතින් ඒ රටේ ආර්ථිකය ශක්තිමත් වනවා හෝ කඩා වැටෙනවා යැයි නිශ්චිතව මතයක් ගොඩ නැගිය නොහැකි බව අවධාරණය කළේය.
දැනට ඉන්දියාවේ රුපියල ඉතිහාසයේ වාර්තා කළ ඉහළම අවප්‍රමාණය වීමට මුහුණදී සිටී. ඉන්දුනිසියාවේදී එසේය. එවැනි තත්ත්වයක් තුළ ඉන්දියාවේ ආර්ථිකය කඩා වැටේ යැයි හෝ ඉන්දුනිසියාවේ ආර්ථිකය කඩා වැටේ යැයි හෝ නිගමණයන්ට එළැඹීමට නොහැකි බව අධිපතිවරයා උදාහරණ ගෙන එමින් පැහැදිලි කළේය.
විනිමය අනුපාතිකය අනවශ්‍ය ලෙස ඉහළ පහළ යාම වැලැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුවත්, මුදල් අමාත්‍යංශයත් එක්ව කටයුතු කරන බවද අධිපතිවරයා කීය.
ඒසේ නොමැතිව කෘතිමව රුපියලේ අගය ඉහළ පහළ යාම ආරක්ෂා කිරීමට තමන් ක්‍රියා නොකරන බවද අධිපතිවරයා පැවසීය.
ජේ.මුණසිංහ




