The Leader News
BREAKING
Top Ad
පුවත්

අමාත්‍යාංශ ලේකම්වරයෙකු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දුවක්

T

The Leader Desk

May 19, 2026 • 3:32 PM

අමාත්‍යාංශ ලේකම්වරයෙකු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඩබ්ලිව්.එස්.
  • ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ආචාර්ය සෝභිත රාජකරුණා සහ ජනක් ද සිල්වා ගේ එකඟත්වය සහිතව, විනිසුරු අර්ජුන ඔබේසේකර විසින් මෙම නඩු තීන්දුව විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කරන ලදී.
  • නඩු තීන්දුවේ සඳහන් වන පරිදි, වසර 30කට අධික සේවා පළපුරුද්දක් සහිත ඩබ්ලිව්.එස්.
  • ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් පත්වීමක් ලබා දී තිබියදී ඊට බලපෑම් කිරීමෙන් අමාත්‍යාංශ ලේකම්වරයා කොමිසමේ බලතලවලට ඇඟිලි ගසා ඇති බවත් එය නීතියට පටහැනි බවත් අධිකරණය තීරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඩබ්ලිව්.එස්. සත්‍යානන්දගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නීත්‍යානුකූලව පත් කර සිටි අතිරේක ලේකම්වරයෙකු වූ පෙත්සම්කරුට, ඔහුගේ සේවය අනවශ්‍ය බව පවසා කාර්යාලයෙන් පිටව යන ලෙස දැනුම් දීම මඟින් ලේකම්වරයා මෙම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සිදු කර ඇති බව අධිකරණය පෙන්වා දුන්නේය. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ආචාර්ය සෝභිත රාජකරුණා සහ ජනක් ද සිල්වා ගේ එකඟත්වය සහිතව, විනිසුරු අර්ජුන ඔබේසේකර විසින් මෙම නඩු තීන්දුව විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කරන ලදී.

නඩු තීන්දුවේ සඳහන් වන පරිදි, වසර 30කට අධික සේවා පළපුරුද්දක් සහිත ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් 2024 දෙසැම්බර් 18 වන දින නිකුත් කළ ලිපියක් මඟින් අදාළ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරට පත් කර ඇත. 

ඒ අනුව එදිනම සේවයට වාර්තා කර සිටි පෙත්සම්කරුගේ කාමරයට දහවල් 12.30ට පමණ පැමිණි අමාත්‍යාංශ ලේකම්වරයා, ඔහුගේ සේවය අවශ්‍ය නොවන බැවින් කාර්යාලයෙන් පිටව යන ලෙස දන්වා තිබේ. උසස් නිලධාරියකුට නොගැලපෙන මෙම අත්තනෝමතික ක්‍රියාව හේතුවෙන් තමා දැඩි අවමානයට සහ මානසික කනස්සල්ලට පත් වූ බවත්, එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

වගඋත්තරකාර ලේකම්වරයා විසින් මිනිසෙකු මෙන්ම රාජ්‍ය නිලධාරියෙකු ලෙස පෙත්සම්කරුට ඇති ගෞරවනීය අයිතිය උල්ලංඝනය කර ඇති අතර, මෙම ක්‍රියාව හේතුවෙන් පෙත්සම්කරුට අත්විඳීමට සිදු වූ අගෞරවය හා නින්දාව කිසිදු ආකාරයකින් යථා තත්ත්වයකට පත් කළ නොහැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේය.

මෙහිදී නීතිමය තත්ත්වය පැහැදිලි කළ විනිසුරු අර්ජුන ඔබේසේකර, 2022 දෙසැම්බර් 14 දිනැති අංක 2310/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ රාජ්‍ය සේවා කොමිෂන් සභා ක්‍රියා පටිපාටික රීතිවල 107 වන රීතියට අනුව අතිරේක ලේකම්වරයෙකු පත් කිරීමේ පූර්ණ බලය පැවරී ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට බව සඳහන් කළේය.

එසේම රාජ්‍ය සේවා කොමිෂන් සභා රීතිවල 61 වගන්තියට අනුව පුද්ගලයෙකු නීත්‍යානුකූල රාජකාරියක් ඉටු කිරීමේදී හැර, සෘජුව හෝ වක්‍රව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හෝ බලය පවරා තිබෙන රාජ්‍ය නිලධාරියෙකුගේ තීරණයකට බලපෑම් කිරීම, බාධා කිරීම හෝ ඊට උත්සාහ කිරීම වරදක් වන අතර, ඊට රුපියල් ලක්ෂයක් නොඉක්මවන දඩයක්, වසර 7ක් දක්වා සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවිය හැකි බව නඩු තීන්දුවේ දක්වා ඇත.

ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් පත්වීමක් ලබා දී තිබියදී ඊට බලපෑම් කිරීමෙන් අමාත්‍යාංශ ලේකම්වරයා කොමිසමේ බලතලවලට ඇඟිලි ගසා ඇති බවත් එය නීතියට පටහැනි බවත් අධිකරණය තීරණය කළේය. අමාත්‍යාංශ ලේකම්වරයෙකුට අධීක්ෂණ බලතල පැවතියද, රාජ්‍ය නිලධාරීන් පත් කිරීම සහ මාරු කිරීම සම්බන්ධ රාජ්‍ය සේවා කොමිසමේ ව්‍යවස්ථාපිත බලතලවලට මැදිහත් වීම හෝ ඒවා තමා යටතට පවරා ගැනීමට උත්සාහ කිරීම බරපතල කරුණක් මෙන්ම ව්‍යවස්ථාපිත බලතල උල්ලංඝනය කිරීමක් බව විනිසුරු මඩුල්ල අවධාරණය කළේය.

මෙම ක්‍රියාව මඟින් වගඋත්තරකාර ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමේ මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කර ඇති අතරම, ජනතාව ඔහු කෙරෙහි තබා තිබූ විශ්වාසයද කඩ කර ඇත. රාජ්‍ය නිලධාරියෙකු යනු ජනතාවගේ භාරකරුවෙකු වන බැවින් තමන්ට පැවරී ඇති බලතල විශ්වාසය මත ක්‍රියාත්මක කළ යුතු බව විනිසුරුවරයා මෙහිදී මතක් කර දුන්නේය. කෙසේ වෙතත්, මෙම සිදුවීම වෙනුවෙන් වන්දි හෝ නඩු ගාස්තු සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...