එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුනේ, ජාතික ජන බලවේගයේ (NPP) ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උපුල් අබේවික්‍රම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆන් ප්‍රනාන්දු විසිනි.
කංචන විජේසේකර, විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ මෙරටට ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සහ දූෂණයක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ඔවුන් එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
පැමිණිල්ල භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අභයවික්‍රම පැවසුයේ, රට බංකොලොත් වී දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබූ එම වකවානුවේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජය යටතේ බලශක්ති ඇමැතිවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහැර ගල්අඟුරු ආනයනය කළ බවය.
“එම කාලය තුළ මෙරටට ගල්අඟුරු ගෙන්වීම සඳහා කැඳවා තිබූ ටෙන්ඩරයේ අවම ලංසුව ඉදිරිපත් කරමින් සුදුසුකම් ලබා සිටියේ ‘ආදිත්‍යා’ සමාගමයි. නමුත් පසුව කැබිනට් මණ්ඩල තීරණයකට මුවා වී, අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පවා සම්පූර්ණ කර නොතිබූ ‘ෆොටෙන්සියා’ නමැති වෙනත් සමාගමකට මෙම ගල්අඟුරු ඇණවුම ලබා දීමට කටයුතු කර තිබෙනවා.” යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි සම්පූර්ණ නොකළ සමාගමකට මෙවැනි මහා පරිමාණ ටෙන්ඩරයක් පැවරීම පිටුපස බරපතළ දූෂණයක් සහ වංචාවක් සිදුව ඇති බවට සාධාරණ සැකයක් පවතින බව මන්ත්‍රීවරු පවසති.
රට දැඩි ආර්ථික බංකොලොත්භාවයකට මුහුණ දී ඩොලර් හිඟයකින් පෙළුණු වකවානුවක, අවම මිලට (Lowest Bid) භාණ්ඩ සැපයීමට සිටි සමාගම මඟහැර වැඩි මිලට හෝ අක්‍රමවත් ලෙස වෙනත් සමාගමකට ටෙන්ඩරය පැවරීම හරහා රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වී ඇති බවට එම පැමිණිල්ල මගින් චෝදනා කර ඇත.
රටේ ආර්ථිකය අගාධයට වැටී තිබූ මොහොතක, නිසි ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් සහ අවම ලංසුකරු බැහැර කරමින් සිදුකර ඇති මෙම ගනුදෙනුව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම මඟින් කඩිනම් හා විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් පවත්වනු ඇතැයි තමන් දැඩිව අපේක්ෂා කරන බව ද මන්ත්‍රීවරු මෙහිදී අවධාරණය කළහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කරන ලද, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ගේ සභාපතිත්වයෙන් යුත් මෙම විශේෂ කොමිසම මඟින් 2016 ජනවාරි 01 සිට 2026 අප්‍රේල් 16 දක්වා දස වසරක කාලය තුළ සිදු වූ සියලුම ප්‍රසම්පාදන සහ මූල්‍ය ගනුදෙනු පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීමට නියමිතය.
විමර්ශනයට අදාළ තොරතුරු spci.coal@presidentsoffice.lk යන විද්‍යුත් තැපෑල හරහා හෝ කොළඹ 12, සාංචි ආරච්චි මාවතේ පිහිටි කොමිෂන් සභා කාර්යාලය වෙත ලිඛිතව යොමු කළ හැකි අතර, තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍යභාවය සුරැකීමට ද කොමිසම පියවර ගෙන ඇත. කොමිසම ගල්අඟුරු ආනයනයේදී සිදුව ඇතැයි කියන දූෂණ හෝ වංචා පිළිබඳ තොරතුරු හා පැමිණිලි ලබන 22 වැනිදා භාර ගැනීමට නියමිතය.




