ආශ්චර්යා අවධාරණය කර සිටියි.
කොටි ඩයස්පෝරාවේ උගුල්වලට හසු නොවී, රට පාවා දෙන නිවට පාලනයට එරෙහිව පෙළගැසෙන්න ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලයි.
බෝම්බ ප්‍රහාරයකින් දෑස් අහිමි වූ ආශ්චර්යා ජයකොඩි එම ඉල්ලීම කරනු ලැබුවේ, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වර්තමාන දේශපාලන පාලනය, ආගමික අන්තවාදය සහ බෙදුම්වාදී බලවේගයන්හි ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කළ ඇය, මුදලට සහ දේශපාලන වාසි තකා රට පාවා දෙන නිවට පාලනයට එරෙහිව, කොන්දක් ඇති සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වහාම ඒකරාශී විය යුතු බව අවධාරණය කර සිටියාය.
මගේ සර්වාංගයේම තවමත් බෝම්බ කෑලි තියෙනවා
තමා දේශපාලන අරමුණකින් තොරව පොදු ජාතික කාරණාවක් වෙනුවෙන් හඬ නැඟීමට පැමිණි බව ප්‍රකාශ කළ ඇය, තවදුරටත් මෙසේ පැවසුවාය.
"වසර ගණනාවකට පෙර මාර්තු 10 වැනිදා, එවකට සිටි අනුරුද්ධ රත්වත්තේ මහතා ඉලක්ක කරමින් කොටි ත්‍රස්තයන් එල්ල කළ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකට මගේ වාහනය හසු වුණා. එහිදී 46 දෙනෙකු මියගිය අතර මගේ වාහනය සිදුරු 265කින් විනිවිද ගොස් තිබුණා. එදා සිට අද වනතුරු මගේ හිසේ සිට දෙපතුළ දක්වා ශරීරය ඇතුළත බෝම්බ යකඩ කැබලි දරාගෙනයි මම ජීවත් වෙන්නේ. මගේ හදවත අසල සහ මොළයේ මධ්‍යස්ථානයේ (Brain Center) බෝම්බ කැබලි පවතින නිසා මට MRI ස්කෑන් පරීක්ෂණයක්වත් කරන්න බැහැ. මගේ දෘෂ්ටි විතානය සහ කෝනියාව විනාශ වීම නිසා වසර 25ක් තිස්සේ මට ලෝකය පෙනෙන්නේ නැහැ. වෛද්‍යවරුන් මගේ වම් කකුල කපා දැමීමට තීරණය කර තිබුණත්, වසර එකහමාරක දැඩි පීඩාවකින් පසු මම නැවත නැඟී සිටියා."
තමා කිසිදු ආණ්ඩුවක, නිලධාරියෙකුගේ හෝ රාජ්‍ය නොවන සංවිධානයක (NGO) උපකාරයක් නොමැතිව තනිවම නැඟී සිට අද වන විට ජාත්‍යන්තරය දිනූ වෘත්තිකයෙකු වී ඇති බවත්, සැබෑ ලෙසම දුක් විඳින මිනිසුන් මාධ්‍ය ඉදිරියේ රඟපාන්නේ නැති බවත් ඇය පැවසුවාය.
මුල්‍ලිවෛක්කාල්හි සමරන්නේ ජනසංහාරයක්ද?
මීට දින කිහිපයකට පෙර මෙරට තුළ මෙන්ම ජාත්‍යන්තරයේ ද 'මුල්‍ලිවෛක්කාල් සැමරුම' නැතහොත් 'ද්‍රවිඩ සමූල ඝාතන දිනය' (Genocide Day) ලෙස සමරනු ලැබීම සහ ඒ සඳහා පොලිස් ආරක්ෂාව සැපයීම මඟින් වත්මන් රජය ඊට වක්‍ර අනුග්‍රහයක් ලබා දී ඇති බවට ඇය චෝදනා කළාය.
ලංකාව බහුජාතික, බහුආගමික රටක් බවත් සාමාන්‍ය සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර කිසිදු ගැටුමක් නොමැති බවත් පැවසු ඇය, කොටි ත්‍රස්තයන් මුලින්ම ඝාතනය කළේ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා, අමිර්තලිංගම්, නීලන් තිරුචෙල්වම් සහ ලක්ෂ්මන් කදිරගාමර් වැනි තමන්ගේම ද්‍රවිඩ නායකයන්ව බව සඳහන් කළාය.
ලබන වසරේත් මෙවැනි බෙදුම්වාදී සැමරුම්වලට ඉඩ දුන්නොත්, රටට ආදරය කරන ජනතාව සමඟ එක්ව ඊට එරෙහිව පාරට බසින බව ඇය දැඩිව කියා සිටියාය.
'ජූදාස් පීරිස්ලා' සහ ආගමික ව්‍යාපාර
ලංකාවේ පැවතුණේ ද්‍රවිඩ ජනයා වඳ කිරීමේ වර්ග සංහාරක යුද්ධයක් බවට අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ ජීවන්ත පීරිස් පියතුමා කළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝවක් මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර, ආශ්චර්යා ජයකොඩි ඊට දැඩි ලෙස විරෝධය පළ කරමින් ප්‍රතිචාර දැක්විය.
අවසාන වශයෙන් ඇය කියා සිටියේ, තමාට ඇස් නොපෙනුණත් කොන්ද කෙළින් තබාගෙන රට වෙනුවෙන් කතා කරන බවත්, වත්මන් පාලකයන්ගේ සහ බලධාරීන්ගේ නිවට ක්‍රියාකලාපය පිළිබඳව සමස්ත ශ්‍රී ලාංකිකයන් ලැජ්ජා විය යුතු බවත්ය.
ලංකාව යනු කිසිවෙකුට කොටස්වලට කඩා වෙන් කළ නොහැකි, සිංහල, දෙමළ, මුස්ලිම් සැමටම අයිති එකම රටක් බව ද ඇය අවධාරණය කළාය.






