රටේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා උදුරා ගන්නා තුට්ටු දෙකේ තත්ත්වයකට ඇද වැටී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.
බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේදී අද (20) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්මේ ඔහු බව සඳහන් කළේය.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් ආශ්චර්යා ජයකොඩි මැතිනිය සහ ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභා සාමාජික ආචාර්ය සුපුන් ජයසිංහ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෑතකදී රණවිරු ස්මාරකය අභියස ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් විමල් වීරවංශ කියා සිටියේ, එදින එම ස්ථානයේ කිසිදු නිල පෙරහුරුවක් නොපැවැත්වුණු බවත්, වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් මල් කළඹක් තබා උපරිම විනාඩි දහයකින් නිම කළ හැකිව තිබූ සාමකාමී සමරුවක් වැළැක්වීමට ආණ්ඩුව පොලිසිය යොදවා කටයුතු කළ බවත්ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති නිදහසේ යාම් ඊම් කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිවාසිකම් උදුරා ගැනීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවත්, රණවිරුවන් කෙරෙහි පවතින දේශපාලන වෛරය සහ පාපී චේතනාව නිසා පොලිසිය ලවා මෙවැනි වැරදි නියෝග ක්‍රියාත්මක කරවා ඇති බවත් ඔහු චෝදනා කළේය.
මෙම අත්තනෝමතික ක්‍රියාවට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බවද හෙතෙම අනාවරණය කළේය.
ශ්‍රී ලංකා රුපියල මහ බැංකුවේ පාලනයෙන් ගිලිහී ගිහින්...
රටේ පවතින දරුණු ආර්ථික කඩාවැටීම පිළිබඳව කරුණු ඉදිරිපත් කළ විමල් වීරවංශ, ශ්‍රී ලංකා රුපියල මහ බැංකුවේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් ඇති බව ප්‍රකාශ කළේය.
කළු කඩයේ සහ උන්ඩියල් ක්‍රමය හරහා ඩොලරයක මිල රුපියල් 345 දක්වා ඉහළ ගොස් ඇති බවත්, රුපියල අවප්‍රමාණය වීම මැදපෙරදිග අර්බුදය පිට පැටවීමට ආණ්ඩුව උත්සාහ කළද, සැබෑවටම ලෝක වෙළඳපොළේ ඩොලරයේ අගය පහළ යමින් පවතින බවත් ඔහු පැවසිය.
ආණ්ඩුවේ අදක්ෂතාවය හේතුවෙන් බඩු මිල සහ ඉදිකිරීම් ද්‍රව්‍ය මිල 12.5% කින් ඉහළ ගොස් ඇති අතර, කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125 කින් වැඩි වී ජනතාවට වේල් තුන පියවා ගැනීමට නොහැකි මාරාන්තික තත්ත්වයක් උදා වී ඇතැයිද ඔහු කීය.
විශේෂයෙන්ම, මැයි 16 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ 50% ක වාහන ආනයන බදු සංශෝධනය පිළිබඳ රහස් තොරතුරු, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරීන් විසින් මැයි 15 වැනිදාට පෙර ප්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයකු ඇතුළු ජාවාරම්කාර ගජමිතුරන් වෙත ලබා දී ඇති බවට වීරවංශ මෙහිදී බරපතළ චෝදනාවක් එල්ල කළේය.
එම හොර ඔත්තුව මත පෞද්ගලික බැංකු හරහා එදිනම ණයවර ලිපි (LC) විවෘත කරමින් වාහන 1,682 ක් පැරණි අඩු බදු ක්‍රමය යටතේ ආනයනය කිරීමට කටයුතු කර ඇති බවත්, එමඟින් මහා භාණ්ඩාගාරයට හිමිවිය යුතු ප්‍රකෝටි ගණනක බදු මුදල් අහිමි කර ගජමිතුරන්ට අතිවිශාල ලාභයක් ඉපයීමට ඉඩ සලසා දී ඇති බවත් ඔහු පැවසීය.
එක් නැවකින් ටොන් 120 බැගින් ගල්අඟුරු මුහුදට...
මීට අමතරව, බාල ගල්අඟුරු ආනයනය කිරීමේ මාෆියාවක් හරහා එක් නැවකින් ටොන් 120 බැගින් ගල්අඟුරු මුහුදට වැටෙන බවත්, ඉන් විදුලිය නිපදවීමට නොහැකි වූ විට ලෝකයේ වැඩිම මිලට ප්‍රිමියම් ගෙවමින් ඩීසල් ආනයනය කර ඩොලර් සංචිතය කාබාසිනියා කරන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
ජාත්‍යන්තර වශයෙන් බ්‍රික්ස් (BRICS) සංවිධානය වැනි බලගතු කලාපීය සන්ධාන මඟහැරීම නිසා කඩා වැටෙන රුපියල බේරා ගැනීමට අවශ්‍ය ඩොලර් බිලියන 7-8 ක සහයෝගයක් ලබා ගැනීමට ආණ්ඩුවට කිසිදු ජාත්‍යන්තර මිත්‍රත්වයක් නොමැති බවද ඔහු සඳහන් කළේය.
අයිතිවාසිකම් උදුරා ගනිමින්, ආර්ථිකය වළපල්ලට යවන මෙම දූෂිත හා අදූරදර්ශී ගමනට එරෙහිව සමස්ත ජනතාව පෙළගැසිය යුතු බවත්, ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන දිනය වැඩි ඈතක නොවන බවත් විමල් වීරවංශ වැඩිදුරටත් කියා සිටියේය.




