ඔහු සිය X (ට්විටර්) ගිණුම හරහා එබව සඳහන් කර ඇත්තේ, පාස්කු ප්‍රහාරයෙන් පසුව තමා පිල්ලෙයාන් ව බැලීමට මඩකලපුව බන්ධනාගාරයට ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් බවට මාධ්‍ය මගින් දැනගත් පසු එයට පිළිතුරු දෙමිනි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම X සටහනෙන් රජයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) එරෙහිව දැඩි විවේචනයක් එල්ල කර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධ නඩුකරය ඊයේ (මැයි 20) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, පාස්කු ප්‍රහාරයෙන් පසුව මහින්ද, බැසිල් සහ නාමල් යන රාජපක්ෂවරුන් මඩකලපුව බන්ධනාගාරයට ගොස් පිල්ලෙයාන් හමුවී ඇති බවයි. එහිදී "ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සතියකින් ඔහුව නිදහස් කරන බවට" පොරොන්දු වූ බවට CIDය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
CIDයේ මෙම නිල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, 2018/19 කාලයේ සිරගතව සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) හමුවීමට ගිය බව පිළිගන්නා නමුත්, ඔහු පවසන්නේ එය පාස්කු ප්‍රහාරයෙන් පසු රහසිගතව කළ ගමනක් නොව, 2018/19 කාලයේ (ප්‍රහාරයට පෙර සහ පසු කාලසීමාවන් තුළ) තම දේශපාලන සන්ධානයේ පාර්ශවකරුවකු බැලීමට ගිය සාමාන්‍ය දේශපාලන ගමනක් බවයි.
බන්ධනාගාර වාර්තා මඟින් එය ඕනෑම වෙලාවක තහවුරු කරගත හැකි බවත් ඔහු පවසයි.
එම වකවානුව වන විට පිල්ලෙයාන්ගේ TMVP පක්ෂය තමන්ගේ දේශපාලන සන්ධානයේ පාර්ශවකරුවකුව සිටි බව ඔහු සිහිපත් කර දෙයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට CID නිලධාරීන් ප්‍රංශය දක්වා ගොස් ඇත්තේ තමා පිල්ලෙයාන් හමුවූ බව තහවුරු කර ගැනීමට පමණක් නම්, එය බරපතල මහජන මුදල් නාස්තියක් බව ඔහු පෙන්වා දෙයි.
පිල්ලෙයාන් මේ වන විට රැඳවුම් භාරයේ පසුවන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නොවන බවද ඔහු පවසයි.
ජාතික ජන බලවේගය (NPP) රජය මෙම ඛේදවාචකය දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කරගැනීමේ "මාධ්‍ය සංදර්ශනයක්" ලෙස භාවිත කරන බවට ඔහු චෝදනා කරයි.
මෙවැනි දේශපාලන නාට්‍ය හරහා පාස්කු ප්‍රහාරයේ සැබෑ වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට දැඩි අසාධාරණයක් සිදුවන බව නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.
ඕනෑම විවෘත සහ විනිවිදභාවයකින් යුත් සාධාරණ පරීක්ෂණයකට මුහුණ දීමට සහ CID වෙත උපරිම සහයෝගය දීමට තමන් සූදානම් බව ප්‍රකාශ කරන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, මාධ්‍ය සිරස්තල සහ දේශපාලන නාට්‍ය පසෙක දමා, රටේ ජනතාව වෙනුවෙන් අර්ථවත් ප්‍රතිඵල අත්කර දීමට අවධානය යොමු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.
ඔහුගේ X පණිවිඩය පහත පරිදි වේ.
''2018/19 කාලසීමාවේදී ටී. එම්.වී.පී. (TMVP) පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් බන්ධනාගාරගතව සිටි සමයේ මා ඔහුව බැලීමට ගිය බව රහසක් නොවේ. ඇත්ත වශයෙන්ම, මාගේ එම පැමිණීම් පිළිබඳ බන්ධනාගාර වාර්තා අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලබාගත හැකිව පවතී. එම වකවානුව වන විට, ඔහු 2015 ජනාධිපතිවරණයට මෙන්ම 2018 පළාත් පාලන මැතිවරණයටද තරඟ කරමින් අපගේ සන්ධානයේ පාර්ශවකරුවකුව සිටියේය.
දැනගන්නට ලැබී ඇති පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ප්‍රංශය දක්වාම ගමන් කොට ඇත. පැහැදිලිවම මෙමඟින් රජයේ ප්‍රමුඛතාවයන් පිළිබඳව බරපතල ගැටළු මතු කරවයි. නිලධාරීන් මෙතරම් විශාල දුරක් ගමන් කළේ මා පිල්ලෙයාන් හමුවීමට ගිය බව තහවුරු කර ගැනීමට පමණක් නම්, එය පැහැදිලිවම මහජන මුදල් නාස්ති කිරීමකි.
මා දන්නා තරමින්, මේ වන විට පිල්ලෙයාන්ව රැඳවුම් භාරයේ තබාගෙන සිටින්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් නොවේ. එසේ නම්, රජය මේ ආකාරයේ මාධ්‍ය සංදර්ශන පවත්වමින් සැබවින්ම ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නේ කා හටද?
ජාතික ජන බලවේගය (NPP) විසින්ද විවිධ අවස්ථාවලදී පාස්කු ප්‍රහාරය පිළිබඳව විවිධ කතාන්දර සමාජගත කර ඇත. රජය දැන් මෙම ඛේදවාචකය දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කර ගැනීම සඳහා යොදා ගැනීමට උත්සාහ කරන්නේ නම්, තවමත් සැබෑ පිළිතුරු සහ සාධාරණය අපේක්ෂාවෙන් සිටින වින්දිතයින්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට කරනු ලබන දැඩි අසාධාරණයක් ලෙස එය සැලකිය හැක.
ඕනෑම සාධාරණ පරීක්ෂණයකට මුහුණ දීමට අප සැමවිටම සූදානම්ව සිටින අතර, පවතින ඕනෑම සැකයක් විවෘතව සහ විනිවිදභාවයකින් යුතුව නිරාකරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපගේ උපරිම සහයෝගය ලබා දෙන්නෙමු. රජය විසින් කළ යුතුව ඇත්තේ , දේශපාලන නාට්‍ය සහ මාධ්‍ය සිරස්තල කෙරෙහි අවධානය යොමු කරනු වෙනුවට, අප රටේ ජනතාව වෙනුවෙන් අර්ථවත් ප්‍රතිඵල අත්කර දීම සඳහා සිය අවධානය යොමු කිරීමයි.'

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධ නඩුවේදී, පාස්කු ප්‍රහාරය සහ පිල්ලෙයාන්/රාජපක්ෂවරුන් අතර පැවති සබඳතාවය පිළිබඳව CIDය අධිකරණය හමුවේ කරුණු අනාවරණය කර ඇති අතර, නාමල් රාජපක්ෂ සිය X සටහනින් උත්සාහ කරන්නේ එය හුදෙක් තමන් ඉලක්ක කරගත් "දේශපාලන නාට්‍යයක්" සහ "මාධ්‍ය සංදර්ශනයක්" පමණක් බව පෙන්වීමටයි.




