කුමුදිනී ඝාතන අනුස්මරණ කමිටුව විසින් ඩෙල්ෆ්ට් නමින් ප්‍රකට නෙඩුන්තීව් දුපතේ ජැටිය අසල ස්ථාපිත කර තිබෙන කුමුදිනී ස්මාරකයට 2026 මැයි 15 වැනිදා මලින් පහනින් උපහාර දක්වා එම අනුස්මරණය සිදු කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
අනුස්මරණයේ ප්‍රධාන පහන දල්වා ඇත්තේ කුමුදිනී බෝට්ටු සංහාරයේ දී ඝාතනය වු හය මස් බිළිදකුගේ අම්මා වන විශ්වලිංගම් අන්නලක්ෂ්මී විසිනි. පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ඇයද එම සංහාරයේදී තුවාල ලබා දිවි බේරා ගත් තැනැත්තියක බවයි.
යුද්ධයේ අන්තිම දවස් ගෙවුණු 2009 වෙසක් මාසයේ මුහුදුබඩ බිම් තීරුවකට කොටුවී ෂෙල් වෙඩි, ගුවන් බෝම්බ සහ කාලතුවක්කු ප්‍රහාර වලට මැදිවී සිටි ඇතැම් දෙමළ ජනයාට නොමැරී දිවි ගලවාගන්නට සරණ වූ 'මුල්ලිවයික්කාල් කන්ජි' නමින් ඉතිහාසගතවූ කැඳ කුමුදිනී අනුස්මරණට එක්ව සිටි පිරිසට ලබා දීමටත් සංවිධායකයන් කටයුතු කර ඇත. අනුස්මරණයෙන් අනතුරුව ඝාතනය වුවන් සිහි කරමින් මාවිලිතුරෙයි වීරබද්ද්‍ර ගණ දෙවි කෝවිලේ සහ මාවිලිතුරෙයි ශාන්ත ෂේවියර් පල්ලියේ යාඥාවන්ද පවත්වා තිබේ.
1985 වසරේ මැයි 15 වැනි දා උදෑසන කාන්තාවන්, දරුවන් හා පිරිමින් ගෙන් සැදුම්ලත් හැත්තෑ දෙදෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඩෙල්ෆ්ට් දූවෙන් ''කුමුදිනී'' යාත්‍රාවට නැගුනේ යාපනය නගරයට ලගා වීමේ අරමුණෙනි.
ඔවුන්ට නගරයෙන් ලබා ගැනීම සදහා බොහෝ අත්‍යාවශ්‍ය සේවා, බේත්හේත් හා තවත් කළමනා තිබෙන්නට ඇත.
එසේ මුත් ඔවුන් බොහොමයකට යාපනය නගරයට ලඟා වීමේ ඉඩක් නොවි ය. ඉතිරි අයගේ ගමනාන්තය වූයේ ආරෝග්‍ය ශාලාවන් ය.
මහමුහුද මැදදී නයිනතිව් (නාගදීප) නාවික කදවුරේ භටයන් යයි විශ්වාස කරන සන්නද්ධ කණ්ඩායමක ප්‍රහාරයකට ''කුමුදිනී'' යාත්‍රාව මැදි විය.
මේ ප්‍රහාරයෙන් කාන්තාවන්, දරුවන් හා පිරිමින් ඇතුලත් 36 දෙනකුගේ දිවි අහිමි වු අතර විසි දෙනෙක් බරපතල ලෙස තුවාල ලැබූහ.
මෙතැනදී මිය ගිය 23 දෙනකුගේ නම් ලැයිස්තුවක් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය මගින් ප්‍රසිද්ධ කරනු ලැබ තිබුණි.
තම දිවි තොර කරනු ලැබීමේ හේතුවක් නොදැනම 41 වසරකට ඉහත දී ඝාතනයට ලක් වුවන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ගේ ද සහභාගීත්වයෙන් 2026 මැයි 15 වැනිදා උදෑසන පැවැති අනුස්මරණය සදහා ආගමික නායකයන් ද එක්ව සිටි බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.




