The Leader News
BREAKING
Top Ad
පුවත්

අ'පුර නඩුව යුක්තියේ සමානාත්මතාවයේ පරීක්ෂාවක් : ජාතික කාන්තා කොමිසම

T

The Leader Desk

May 22, 2026 • 4:37 AM

අ'පුර නඩුව යුක්තියේ සමානාත්මතාවයේ පරීක්ෂාවක් : ජාතික කාන්තා කොමිසම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය, අවදානමට ලක්වූ දරුවන්ට සලකන ආකාරය සහ ඒ සඳහා සාධාරණත්වය, සමානාත්මතාවය සහ යුක්තිය පිළිබඳ මූලධර්ම ආරක්ෂා කිරීමට ඇති හැකියාව ද පිළිබිඹු කරන්නක් යැයි 'ජාතික කාන්තා කොමිෂන් සභාව' විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.
  • යුක්තිය සඳහා ප්‍රවේශය සහ ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් සහතික කරමින්, නැවත වින්දිතයන් බවට පත්වීම සහ වින්දිතයින්ට දොස් පැවරීම වළක්වාලමින්, දරුවාගේ අයිතිවාසිකම් සෑම විටම ආරක්ෂා කළ යුතු බව පවසමින් කොමිසම නිකුත් කළ එම දීර්ඝ ප්‍රකාශය මෙසේය.
  • ළමා අපයෝජනයට ලක්වූ දරුවාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) විසින් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කොමිසමේ සහයෝගය සහ ප්‍රශංසාව පල කරයි.
  • මෙමගින්, දරුවාගේ උපරිම යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට කිසිදු දෙමව්පියෙකුට හෝ භාරකරුවෙකුට නොහැකි අවස්ථාවක, අපයෝජනයට ලක්වූ දරුවාට නීතිමය නියෝජනයක් සහ ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබෙන බව සහතික කෙරෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය, අවදානමට ලක්වූ දරුවන්ට සලකන ආකාරය සහ ඒ සඳහා සාධාරණත්වය, සමානාත්මතාවය සහ යුක්තිය පිළිබඳ මූලධර්ම ආරක්ෂා කිරීමට ඇති හැකියාව ද පිළිබිඹු කරන්නක් යැයි 'ජාතික කාන්තා කොමිෂන් සභාව' විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.

යුක්තිය සඳහා ප්‍රවේශය සහ ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් සහතික කරමින්, නැවත වින්දිතයන් බවට පත්වීම සහ වින්දිතයින්ට දොස් පැවරීම වළක්වාලමින්, දරුවාගේ අයිතිවාසිකම් සෑම විටම ආරක්ෂා කළ යුතු බව පවසමින් කොමිසම නිකුත් කළ එම දීර්ඝ ප්‍රකාශය මෙසේය.

ළමා අපයෝජනයට ලක්වූ දරුවාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) විසින් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කොමිසමේ සහයෝගය සහ ප්‍රශංසාව පල කරයි.

මෙම සිද්ධියේදි ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට (NCPA) මෙම නඩුවේදී තීරණාත්මක කාර්යභාරයක් පැවරී ඇති බව සඳහන් කරන අතරම, නීතිමය ක්‍රියාවලිය අතරතුර, දරුවාගේ පුද්ගලික අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂයෙන් අනුයුක්තකර  ඇති ස්වාධීන නීතිමය නියෝජනයක් සඳහා දරුවාට ප්‍රවේශය තිබීම අත්‍යවශ්‍ය බව අපි අවධාරණය කරමු. මෙමගින්, දරුවාගේ උපරිම යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට කිසිදු දෙමව්පියෙකුට හෝ භාරකරුවෙකුට නොහැකි අවස්ථාවක, අපයෝජනයට ලක්වූ දරුවාට නීතිමය නියෝජනයක් සහ ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබෙන බව සහතික කෙරෙනු ඇත.

අපයෝජනයට ලක්වූ සෑම දරුවෙක්ටම ගෞරවය, ආරක්ෂාව, නීතිය ඉදිරියේ සමානාත්මතාවය සහ යුක්තිය සඳහා ප්‍රවේශයට අයිතිවාසිකම් හිමි බව කොමිසම අවධාරණය කරයි. මෙම ආරක්ෂාවන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය, රටේ ළමා ආරක්ෂණ නීති සහ ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇති සහ එබැවින් පිළිපැදීමට බැඳී සිටින එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය, යටතේ සහතික කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(13) වගන්තිය යටතේ, දරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට සහ සූරාකෑමෙන් සහ ආසාධාරණ ලෙස සැලකීමෙන් ඔවුන් ආරක්ෂා කිරීමට රාජ්‍යයට විශේෂ සහ නිශ්චිත යුතුකමක් තිබේ.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 24 වන වගන්තිය මගින් ශ්‍රී ලංකා රජය සහ එහි ආයතන සඳහා, බාල වයස්කරුවෙකු ලෙස දරුවෙකුට අවශ්‍ය වන පරිදි එවැනි ආරක්ෂක පියවරයන්, කිසිදු වෙනස්කම් කිරීමකට ලක් නොකර සැපයීමට බැඳීමක් පනවා ඇති බව කොමිසම අවධාරණය කරයි. විශේෂයෙන්ම, මේ සම්බන්ධයෙන්, 2007 ICCPR පනත මඟින් දරුවෙකුට බලපාන අපරාධ නඩු කටයුතුවලදී, රජය විසින් සපයනු ලබන නීතිමය සහාය සඳහා සෑම දරුවෙකුටම අයිතියක් ඇති බවත් (5 වන වගන්තිය), තවද රාජ්‍ය හෝ පෞද්ගලික සමාජ සුභසාධන ආයතන, අධිකරණ, පරිපාලන හෝ ව්‍යවස්ථාදායක ආයතන විසින් සිදු කරනු ලබන දරුවන් සම්බන්ධ සියලු කාරණාවලදී, දරුවාගේ උපරිම යහපතට අතිමහත් වැදගත්කමක් ලැබියයුතු බවත් සඳහන් කරයි.

ඒ අනුව, ජාතික කාන්තා කොමිෂන් සභාව ඉල්ලා සිටිනුයේ:

• ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) දරුවාට නීතිමය සහ මනෝ සමාජීය ආරක්ෂාව අඛණ්ඩව ලැබෙන බව සහතික කරන අතරම, දරුවා නැවත කම්පනයට පත් කිරීම, බිය ගැන්වීම, දොස් පැවරීම සහ මහජන නිරාවරණයට ලක් නොවන බව සහතික කරන ලෙසය;

• මෙම කාරණයට අදාළ සියලුම පරීක්ෂණ කිසිදු බලපෑමකින් හෝ මැදිහත්වීමකින් තොරව අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යූතුව සිදු කරන බව ශ්‍රී ලංකා පොලිසිය සහතික වන ලෙසය. විමර්ශන ක්‍රියාවලිය හෝ අපරාධ යුක්ති ක්‍රියා පටිපාටිය හේතුවෙන් දරුවා නැවත කම්පනයට පත් නොවන බව සහතික කිරීම සඳහා සෑම පියවරක්ම ගත යුතුය. එසේම, 2023 අංක 10 දරන අපරාධ වින්දිතයින්ට සහ සාක්ෂිකරුවන්ට සහාය වීම සහ ආරක්ෂා කිරීම පිළිබඳ පනතට අනුව, වින්දිතයින්ට අදාළ වන මූලික අයිතිවාසිකම් සහතික කිරීම ද වැදගත් වේ. මෙම අයිතිවාසිකම් වලට දරුවාගේ අවශ්‍යතා උපරිමයෙන් ආරක්ෂා වන ආකාරයට සැලකීම; ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රම හරහා සාක්ෂි හෝ ප්‍රකාශ සැපයීම සඳහා විශේෂ පියවර ගැනීම; සුදුසුකම් ලත් වෘත්තිකයන් සහ සුදුසු ක්‍රියා පටිපාටි සලසාදීම මගින් ඵලදායී ලෙස දරුවන් ආරක්ෂා කරන අතර ඔවුන්ගේ විශේෂිත අවශ්‍යතා සහතික කිරීම, සහ කාන්තා අපරාධ වින්දිතයින්ගේ වෛද්‍ය පරීක්ෂණවලදී කාන්තා වෛද්‍යවරියන් මඟින් පරීක්ෂා කරගැනීමට ඇති අයිතිය, ඇතුළත් වේ. විමර්ශන සඳහා කාන්තා නිලධාරීන් හැකි උපරිමයෙන් පත් කිරීමේ වැදගත්කම අපි අවධාරණය කරමු;

• නඩුවේ සංවේදී ස්වභාවය සැලකිල්ලට ගෙන, නීතිපති දෙපාර්තමේන්තුව සියලු ක්‍රියාදාමයන් වලදී, දරුවාගේ අයිතිවාසිකම්, අවශ්‍යතා, ආරක්ෂාව සහ යහපැවැත්ම ආරක්ෂා වන පරිදි විමර්ශන ක්‍රියාවලිය උපරිමයෙන් අධීක්ෂණය කරන ලෙසය;

• දරුවාගේ පෞද්ගලිකත්වය, ගෞරවය, අනාගතය සහ යහපැවැත්මට හානි කළ හැකි හෙළිදරව් සහ ප්‍රකාශ කිරීමෙන් සියලුම මාධ්‍ය ආයතන, ප්‍රසිද්ධ පුද්ගලයන් සහ මහජනතාව වැළකී සිටින ලෙසය.

මෙම නඩුව දරුවෙකුට එරෙහිව සිදු වූ බව කියන ලිංගික හිංසනය සම්බන්ධයෙන් වගවීම පිළිබඳ නඩුවක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය, අවදානමට ලක්වූ දරුවන්ට සලකන ආකාරය සහ ඒ සඳහා සාධාරණත්වය, සමානාත්මතාවය සහ යුක්තිය පිළිබඳ මූලධර්ම ආරක්ෂා කිරීමට ඇති හැකියාව ද පිළිබිඹු කරයි.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා වන විධිනියෝගයේ විෂය පථය තුළ මෙම නඩුවට අදාල ප්‍රවනතාවයන්, කාන්තා කොමිෂන් සභාව අඛණ්ඩව නීරික්ෂණය කරගෙන යනු ඇත.

ජාතික කාන්තා කොමිෂන් සභාව, තම විධිනියෝග ඉටු කිරීමේදී, කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ආරක්ෂාව, ගෞරවය සහ නීතිය යටතේ සමානාත්මතාවය තහවුරු කිරීම සඳහා අදාළ රාජ්‍ය ආයතන, සිවිල් සමාජ සංවිධාන සහ ප්‍රජාවන් සමඟ සමීපව කටයුතු කරනු ඇත. වගවීම, ළමා ආරක්ෂාව සහ වින්දිතයින්ගේ සහ දිවි ගලවා ගත් අයගේ අවශ්‍යතාවලට සංවේදී වන අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියක් වෙනුවෙන් පෙනී සිටීමට ජාතික කාන්තා කොමිෂන් සභාව කැපවී සිටී.

(සටහන | ගිම්හාන් ද සිල්වා) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...