ඉදිරි පැය 24ක කාලය තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්ව ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එම පහත්බිම් හරහා වැටී ඇති ඇතැම් මාර්ග ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමේ අවදානමක් ද පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවත් ඒ හේතුවෙන් ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.
මේ අතර අද (22) පෙරවරුවේ නිකුත් කළ නායයෑම් නිවේදනයකට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රදේශ සඳහා 3 වැනි මට්ටමේ රතු නිවේදන නිකුත් කර ඇත.
අද පෙරවරු 6ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (23) පස්වරු 6 දක්වා වලංගු වේ.
කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ඇම්බර් වර්ණයෙන් යුතු 2 වැනි මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව සීතාවක, පාදුක්ක, අත්තනගල්ල, ඉංගිරිය, බුලත්සිංහල, රුවන්වැල්ල, පැල්මඩුල්ල, කුරුවිට සහ අයගම යන ප්‍රදේශ අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.
එමෙන්ම කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල යටියන්තොට, අඹගමුව, ඇහැලියගොඩ, නිවිතිගල සහ කලවාන ප්‍රදේශ සඳහා කහ වර්ණයෙන් යුතු පළමු මට්ටමේ විමසිලිමත් වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට ද සුළු ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අද උදෑසන 6ට නිකුත් කළ ඇම්බර් වර්ණයෙන් යුතු එම ගංවතුර නිවේදනය හෙට උදෑසන 6 දක්වා වලංගු වන බව ද සඳහන්ය.
කළු ගඟ ද්‍රෝණිය වෙත ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය සහ ජලමාපක දත්ත විශ්ලේෂණය කරමින් මෙම නිවේදනය නිකුත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල ජනතාවගෙන් සහ රියදුරු මගී ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
තවත් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් කිහිපයක් ද අද පෙරවරුවේ නිකුත් කෙරිණි.
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට හා රත්නපුර ප්‍රදේශ සඳහා ඇම්බර් වර්ණයෙන් යුතු දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල බුලත්සිංහල සහ ඇහැලියගොඩ ප්‍රදේශ සඳහා කහ වර්ණයෙන් යුතු පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.
එහිදී ඇම්බර් වර්ණයෙන් යුතු දෙවැනි මට්ටම “අවධානයෙන් සිටින්න” යන අර්ථය ද කහ වර්ණයෙන් යුතු පළමු මට්ටම “විමසිලිමත් වන්න” යන අර්ථය ද දක්වන බව සඳහන් කළේය.
මෙම සියලු අනතුරු ඇඟවීම් අද (22) සිට හෙට (23) දක්වා විවිධ කාල සීමාවන් සඳහා බලපැවැත්වෙන බව ද දැනුම් දී තිබේ.
(සටහන | ගිම්හාන් ද සිල්වා )




