ක්‍රීඩා අමාත්‍යවරයා පෙරේදා (19) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කළ ද්වේශසහගත සහ පදනම් විරහිත චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්

ජාත්‍යන්තර ක්‍රිකට් සභාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලීමක් කළේ යැයි කළ චෝදනාව ද තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට පනවා ඇති තහනම හැකි ඉක්මණින් ඉවත්කරගැනීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම නිවේදනයෙන් අවධාරණය කරයි.  

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් රජයේ බලපෑමෙන් තොරව ස්වාධීනව ක්‍රියාත්මක වියයුතු බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළේ පූර්ණ සාමාජික රටවල්වල අධ්‍යක්‍ෂවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමකදී බවත් එම නිවේදනයේ සඳහන් වේ.

අදාල චෝදනා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලින් තොරව මාධ්‍ය ඔස්සේ මහජන මතයට බලපෑම් කරමින් වෙනත් අපේක්‍ෂාවක් මුදුන් පමුනුවා ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කරන බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කටයුතු සහ එහි සාමාජිකයන් අතර සම්බන්ධතා පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට පුළුල් අවබෝදයක් නොමැතිවීම පිළිබඳව ගණගාටු වන බවත් ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පවත්වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ලිපි තුනක් යවමින් ඉතා දැඩිව බල කර ඉල්ලා ඇති බව ද ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මාධ්‍ය හමුවකදී පැවසීය.


ක්‍රිකට් නඩු විභාගය මැද අධිකරණයේදී හෙළිවූ කතාව


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ප්‍රධාන හේතුව වුයේ තම ක්‍රියාකලාපය නොව ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඊයේ (20) සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දුනි.

ඒ අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ඊයේ කැඳවූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඉදිරිපත්කළ පෙත්සම ඊයේ  යළි අභියාචනාධිකරණය හමුවේ සලකා බැලුණි.

ඒ අදාළ පෙත්සම සලකා බැලීමෙන් විනිසුරුවන් තිදෙනෙකු ඉවත් වූ පසු අභියාචනාධිකරණ සභාපතිවරයා පත්කළ සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීය.

පෙත්සම සලකා බැලීමට සවන්දීම සඳහා ක්‍රිකට් අතුරු පාලන කමිටුවේ සභාපති ධුරයට පත්කළ අර්ජුන රණතුංග ද අධිකරණයට පැමිණ තිබුණි.

එහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පෙත්සම්කරු අධිකරණයට කරුණු වසන්කරමින් අතුරු තහනම් නියෝග ලබාගෙන ඇති බැවින් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි මූලික විරෝධතා මතු කළේය.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් නීතීඥ ජී.ජී.අරුල්ප්‍රගාසම් ගේ උපදෙස් මත පෙනී සිටී ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මෙහිදි පළමුව අධිකරණයට කරුණු දැක්වේය.

 "ස්වාමිනි, මෙම නඩුකරය පවත්වාගෙන යාමට පෙත්සම්කරුට නීතිමය හැකියාවක් නැහැ. ක්‍රිකට් ආයතනයට මෙවැනි නඩුකරයක් ගොනු කළ හැක්කේ ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයින්ගේ යෝජනා සම්මතයකින් පමණක් වුවද මෙහිදි එවැනි යෝජනා සම්මතයක් ලැබී නැහැ. "

මෙහිදී ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක ක්‍රීඩා අමාත්‍යවරයා අතුරු පාලන කමිටුව පත්කිරීම ක්‍රීඩා පනතට අනුකූල වන අතර ඔහු තමාට පැවරී තිබෙන බලතල ප්‍රකාරව එය සිදුකර ඇති බව පෙන්වා දුනි.

අනතුරුව ක්‍රිකට් අතුරු පාලක කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයට මෙලෙස ප්‍රකාශ කළේය.

 "ස්වාමිනි, මෙම පෙත්සම්කරු ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට බලපෑම් කළ බවට වූ ලිපි තුනක් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. එහෙත් එම ලිපි පෙත්සම්කරු මෙම පෙත්සමට ගොනුකර නැහැ. ඒ තුළින් ඔහු අධිකරණයට කරුණු වසන් කර තිබෙනවා."

පසුව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා  පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා වෙනුවෙන් කරුණු දැක්වුවේය.

 "ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම සම්බන්ධයෙන් මාගේ සේවාදායකයා මැදිහත් වූ බවට වගඋත්තරකරුවන් කරන චෝදනාව මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ප්‍රධාන හේතුව වුයේ ක්‍රීඩා අමාත්‍යවරයා  නිකුත් කළ ගැසට් නිවේදනයයි. නව ක්‍රිකට් අතුරු පාලක කමිටුවට අමාත්‍යවරයා පත්කර ඇත්තේ තමන්ගේ සුරතලුන්ව. එමෙන්ම තමාට නොතීසි නොලැබුණු බව ක්‍රීඩා අමාත්‍යවරයා අධිකරණය හමුවේ සඳහන් කළත් මෙම නඩුව සලකා බැලූ අවස්ථාවේ දී ක්‍රීඩා අමාත්‍යවරයා අධිකරණ පරිශ්‍රයේ සිටි බව මාධ්‍ය විසින් පලකළ වීඩියෝ දර්ශන තුළින් පෙනීයනවා. "  යැයි නීතීඥවරයා සඳහන් කළේය.

මෙහිදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ සඳහන් කළේ ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කරනු ලැබු ගැසට් නිවේදනය ප්‍රකාරව එළඹෙන 22 වනදා තෙක් පමණක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා අධිකරණයට පොරොන්දු වන බවය.

අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන 22 වැනි දා තෙක් කල් තැබුණි.

සබැඳි පුවත් ;
''ක්‍රිකට් තහනම පාවා දීමක් ''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්