රටේ ඕනෑම පුද්ගලයකු ඕනෑම මොහොතක සොයාගත හැකි වන පරිදි නව පරිගණක පද්ධතියක් සකසමින් සිටින බව මහජන ආරක්ෂාව පිළිබඳ

ඇමැති ටිරාන් අලස් පාර්ලිමේන්තුවේදී ඊයේ (11දා) පැවසීය.

හෙතෙම එසේ කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ සිටින දෙමළ ජනතාවගේ තොරතුරු එක්රැස් කිරීමට ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එය වහා නවතා දමන ලෙසත් විපක්ෂයේ මන්ත්‍රී මනෝ ගනේෂන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.

එහිදී ඇති වූ සංවාදය මෙසේය.

මනෝ ගනේෂන් :
කිරුළපන, දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය, නාරාහේන්පිට, කොටහේන, මට්ටක්කුලිය සහ මෝදර ප්‍රදේශවල සිටින දෙමළ ජනතාව ඉලක්ක කර ගෙන පොලිසියේ ලියාපදිංචි කිරීමක් සිදු වෙනවා. ඒ සඳහා අයැදුම්පත්‍ර දෙන්නේ සිංහල භාෂාවෙන් විතරයි. දෙමළ භාෂාවෙනුත් අයැදුම්පත්‍ර දෙන්න ඕනෑ. මේක පොලිස් රාජ්‍යයක් නොවෙයිනේ.

රටේ දැන් යුද්ධයක් නෑ. ඒත් පොලිසිය ග්‍රාමසේවකලා වගේ ගෙවල් ගානේ යනවා. මිනිස්සුන්ව බය කරන්න එපා. සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය, ආගම අහනවා. ආගම අහන්නේ නත්තලට සුබ පතන්නද? ජාතිය අහනවා, උපන් දිනය අහනවා, මොකටද සුබ පතන්නද? පොලිසියේ හොඳ අය වගේම නරක අයත් ඉන්නවා. ඒ නිසා අපි ඇයි ඒ අයට පුද්ගලික තොරතුරු දෙන්නේ? මේක කරන්න එපා නවත්වන්න. මේකෙන් දෙමළ ජනතාවයි ඉලක්ක කරන්නේ.

ටිරාන් අලස් :
මනෝ ගනේෂන් මන්ත්‍රීතුමා අමු බොරුවක් කිව්වේ. දෙමළ ගෙවල්වලින් විතරක් නොවෙයි තොරතුරු එකතු කරන්නේ. ගිය පාරත් මම මේ ගැන මෙතුමාට කිව්වා. අපි දැන් කොළඹ ජනගහනයෙන් සියයට 90ක් ලියාපදිංචි කරලා ඉවරයි. සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද කියලා නෑ. මේක මම ආරම්භ කළ එකක් නොවෙයි. එදා ඉඳන් තිබෙන එකක්. යුද්දෙ කාලේත් මේක කළා. මේ අය ආණ්ඩුවේ ඉන්නකොටත් මේ අයත් මේක කළා.

අපිට දැනගන්න ඕනෑ යම් කෙනෙක් පිටපළාතකින් අපරාධයක් කරලා කොළඹ ඇවිත් හැංගිලා ඉන්නවාද කියලා. එක්කෝ කොළඹ කෙනෙක් බදුල්ලට ගිහින් හැංගිලා ඉන්නවාද කියලා. අපි බලන්නේ පුද්ගලයන් ඉන්නේ කොහේද කියලා රෙකෝඩ් එකක් තියාගන්න. ඒකේ කිසි වැරුද්දක් නෑ. අපි ආගම අහන්නේ නෑ. ජාතිය පමණයි අහන්නේ. මේ අමූලික බොරුවක් කියන්නේ.

මේ කරන වැඩසටහන අපිට නවත්වන්න බෑ. අපි ආරක්ෂාව ගැන බලනවා නම් මේක කරන්න වෙනවා. සිංහලෙන් විතරක් අයැදුම්පත්‍රය ආවා නම් මම ඒ ගැන හොයලා බලලා නිවැරදි කරන්නම්. යුද්දෙ නැතිවුණත් වෙන අපරාධ දැන් වැඩි වෙලා. ඒ නිසා අපි දැන් රටේ අලුත් පද්ධතියකුත් හදනවා. ඕන කෙනකු ඕනෑ මොහොතක හොයාගන්න පුළුවන් විදිහට ඒ හැම එකක්ම පරිගණක ගතකරලා. මේක ලොකු ප්‍රශ්නයක් නොවෙයිනේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස:


පුද්ගලයන් ලියාපදිංචි කිරීම පොලිස් ක්‍රමවේදයට නොවෙයි සිවිල් ක්‍රමවේදයට වඩා ප්‍රජාතාන්ත්‍රික ලෙස ඉටු කරන්න.

divaina.lk/- අකිත පෙරේරා, රනිල් ධර්මසේන)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්