දශක හතකට ආසන්න කාලයක් තිස්සේ මාතර - මරදාන යා කළ සිඝ්‍රගාමී දුමිරිය වු "රුහුණු කුමාරි" දුම්රිය ජනවාරි 01 වැනිදා සිට බෙලිඅත්ත දක්වා

දිර්ඝ කිරිම අවලංගු කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත ලිපියක් යොමු කරන මාතර හිටපු නගරාධිපති උපුල් නිශාන්ත පෙන්වා දෙන්නේ, සියදහස් ගණන් මගීන් පිරිසකට දශක ගණනක් හිමිව තිබූ පහසුකම දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් අහිමි කරනු ලැබ ඇති බවයි.

"කලින් සිදුවූයේ රුහුණු කුමාරිය මාතරින් ගමන් ඇරඹූ අතර බෙලිඅත්තෙන් ගමන් ඇරඹූ 'ගාලු කුමාරී' දුම්රිය රුහුණට පැමිණෙන මගීන් රැගෙන 'රුහුණු කුමාරී' පිටත්වීමට විනාඩි කිහිපයකට පෙර මාතරට පැමිණීමයි. රුහුණ පිටත්ව සුලු මොහොතකින් 'ගාලු කුමාරී' යලිත් ගමන් ඇරඹීමයි. මේ අනුව සියදහස් ගණන් මගීන් පිරිසකට දශක ගණනක් හිමිව තිබූ පහසුකම දුම්රිය දෙපාර්තුමේනතුව විසින් අහිමි කරනු ලැබ තිබේ. එසේම වර්තමානයේ ඉහල ගොස් ඇති ප්‍රවාහන වියදම් නිසාම උදෑසනින්ම මෙන්ම ඉක්මනින්ම කොළඹ බලා යන මගීන්ට ද 'රුහුණු කුමාරි' විශාල අස්වැසිල්ලකි. නමුත් දැන් මාතරින් රුහුණට ගොඩවන මගීන්ට ආසන පහසුකම් ලබා ගැනීමට මහත් පොරයක් පමණක් ඉතිරිව ඇත."

 මාතරින් ගමන් අරඹා අළුයමින් පිටත්වන, මගීන්ට පහසුවෙන් අසුන්ගත හැකි එකම සීඝ්‍රගාමී දුම්රියක්වත් දැන් නොමැති බවයි හිටපු නගරාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.


රජය විසින් සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් 2024 වසරේ දී මාතර නගරය ප්‍රවර්ධනය කිරිමේ දී රුහුකු කුමාරි දුම්රිය ඉතා වැදගත් අංගයක් වනු ඇති බව එජාප මාතර සංවිධායක උපුල් නිශාන්ත සිය ලිපියෙන් ප්‍රවාහන අමාත්‍යවරයා වෙත පෙන්වා දී තිබේ.

"රුහුණු කුමාරි" රැකගත් මංගල


මේ පිළිබඳව වැඩිදුරටත් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති හිටපු නගරාධිපතිවරයා, හිටපු අමාත්‍ය මංගල සමරවීර මාතරට අහිමි වීමට ගිය රුහුණු කුමාරි දුම්රිය රැක ගැනීමට මැදිහත් වු ආකාරය සිහිපත් කර ඇත.

"මාතර දුම්රිය කාලසටහන වෙනස්වන බව මා දුටුවේ යහපාලන ආණ්ඩු සමයේ බෙලිඅත්ත දක්වා වූ දුම්රිය මාර්ගය විවෘත වීමටත් පෙර සිටය. මේ පිළිබදව විමසිලිමත්ව සිටි මම 'රුහුණු කුමාරි' මාතරින් රැගෙනයාමට විරුද්ධ වුනෙමි. මෙම තීරණය පාලනය කරගැනීමට පෞද්ගලිකව මට අපහසු වූ අතර මම එයට මැදිහත්කර ගත්තේ මංගල සමරවීර ඇමතිතුමාය. මුලදීම මගේ යෝජනාව පිළිබදව ඔහුට ඒතරම් අවබෝධයක් නොවීය. 'රුහුණු කුමාරි' මාතරට විශේෂත්වයක් බවත්, එය මාතරට බැඳුන සලකුණක් බවත්, එය අහිමි වීමෙන් දිනපතා මාතර සිට කොළඹ බලා යන දහස් ගණන් මගීන්ට සීඝ්‍රගාමී දුම්රියක් අහිමිවන බවත් එය සෑම අතින්ම අසාධාරණ හා පිළිගත නොහැකි තීරණයක් බවත් මම කීවෙමි."

"මංගල සමරවීර මහතා ඒ සැනින් අර්ජුන රණතුංග ප්‍රවාහන අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ගත්තේය. 'ඇමතිතුමා මම මංගල සමරවීර! මාතර දුම්රිය කාලසටහන් වෙනස් වෙනවා නේද? කමක් නැහැ. 'රුහුණු කුමාරි' මාතරට තියලා ඔයා ඕන  කුමාරියෙක් අරන් යන්න!" යැයි ඔහු සටහන් කර තිබේ.

 
 හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ මැදිහත් විමෙන් රුහුණු කුමාරි දුම්රිය මාතර නවත්වා ගන්නට සමත් වී ඇති අතර හිටපු නගරාධිපති උපුල් නිශාත්න, ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත යොමු කළ ලිපියෙන් ඉල්ලා ඇත්තේ එම දුම්රිය නැවතත් මාතරට ලබා දෙන ලෙසටයි.
UNF 2024.01.08 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්