විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට මුවා වී ආණ්ඩුව ජනාධිපතිවරණය නොපැවැත්වීමට කුමන්ත්‍රණයක් සිදු වෙමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී

උදය ගම්මන්පිල ප්‍රකාශ කර තිබේ.

රාජ්‍ය නොවන සංවිධාන හරහා කරළියට ගෙනැවිත් තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව, ජනාධිපතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුවේද ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විපක්ෂයේ ඇතැම් පක්ෂ එම යෝජනවාට දැනටමත් සහාය පළ කර ඇති බව මන්ත්‍රීවරයා 13 වැනිදා මාධ්‍ය වෙත කියා සිටියේය.

"විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ආණ්ඩුවේ ආශිර්වාදයෙන් රාජ්‍ය නොවන සංවිධාන හරහා කරළියට ගෙනැවිත් තිබෙනවා.  මේ යෝජනාව මීට පෙර ගෙන ආ අවස්ථාවේදී විපක්ෂ නායකයා කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ සැනෙන් පාර්ලිමේන්තුවත් විසුරුවා හරිනවා නම් මේ යෝජනාවට සහය දෙන්න සූදානම් කියලා.  ඒ නිසා මෙවර යෝජනාවේ අන්තර්කාලින විධිවිධානයක් ලෙස යෝජනාව අනුමත වුණු සැනෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ විධිවිධානයක් ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. විපක්ෂයේ සමහර පක්ෂ දැනටමත් මේ යෝජනාවට සහයෝගය පළ කර තිබෙනවා.  සජබ, ජවිපෙ සහ දෙමළ සන්ධානය විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම තමන්ගේ ප්‍රතිපත්තිය කරගෙන සිටින නිසා මේ සියලුම පක්ෂ මීට සහයෝගය ලබා දේවි කියා ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා".

 මෙය “සීනි තැවරූ විෂ ගුලියක්” ලෙස හැඳින්වු උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි දිර්ඝ හා දුෂ්කර වු ක්‍රියාවලිය විස්තර කළේය.


"ඇත්තෙන්ම මේක සීනි තැවරූ විෂ ගුලියක්. ආණ්ඩුව හදන්නේ විපක්ෂය ආකර්ෂණය වන යෝජනාවක් වන විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම ගෙනැවිත් පුංචි ඡන්දයට සහ පළාත් සභා මැතිවරණයට කරපු දේ ජනපතිවරණයටත් කරන්නයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයකින් අනුමත කිරීමට අමතරව ජනමතවිචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතුයි කියා දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

 එහෙම නම් මේ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් අනුමත වූ බවට කථානායක විසින් ජනාධිපතිට දැනුම් දුන්නාම ජනාධිපති ජනමතවිචාරණයකදී ජනතාවගේ අනුමැතියට යොමු කරන්න ඕනෙ. ජනතාව ඒක අනුමත කළාට පස්සේ කරන්න ඕනි දේ සඳහන් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80වන වගන්තියේ. ජනමතවිචාරණයේ දී ජනතාව විසින් යථා පරිදි අනුමත කළ බවට ජනාධිපතිගේ අත්සනින් සහතිකයක් නිකුත් කළාම තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය නීතියක් වෙන්නේ. නමුත් ජනමතවිචාරණ ප්‍රතිඵලය අභියෝගයට ලක් කරලා අධිකරණයේ පෙත්සම් ගොනු කරලා නම් තීන්දුව ලබාදෙන තුරුම ජනාධිපතිට අත්සන් කරන්න බෑ කියලා ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා."

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම විපක්ෂයට අටවපු උගුලක් බැවින් ඊට හසු නොවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල විපක්ෂයේ සියලු පක්ෂවලින් ඉල්ලා සිටියේය.

(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්