කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබාදී ඇත්තේ කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (02) පැවැති සාකච්ඡාවට එක් වෙමිනි.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි ඇතුළු පාසල් විදුහල්පතිවරුන් සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන සංවිධාන කිහිපයක නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන අභියෝග පිළිබඳව එහිදී ඔවුන් ජනාධිපතිවරයාව දැනුවත් කර තිබේ.

ගුරු පුරප්පාඩු, පන්ති කාමර හිඟය සහ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම, ඉස්ලාම් දහම සිංහලෙන් ඉගැන්වීමේ දුෂ්කරතා සහ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වෙසෙන ප්‍රදේශවල මුස්ලිම් පාසල් නොමැතිකම වැනි ගැටලු පිළිබඳ ‍මෙහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ආසන්න වශයෙන් මුස්ලිම් සිසුන් 40,000ක් පමණ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන අතර සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහම ඉගැන්වීමේ නිපුණතාවක් සහිත ගුරුවරුන්ගේ හිඟය පියවීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

කොළඹ මුස්ලිම් පාසල් 19ක ආසන්න වශයෙන් ගුරුවරුන් 200ක පමණ හිඟයක් පවතින බව විදුහල්පතිවරුන් සහ සංවිධාන නියෝජිතයෝ පෙන්වා දී ඇත. 

 

අදාළ ගුරු පුරුප්පාඩු සපුරාලීම සඳහා සුදුසුකම් ලත් ගුරුවරුන් හඳුනාගෙන අවශ්‍ය පත්වීම් සිදුකරන ‍ලෙස එහිදී ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. 

 

ගොඩනැගිලි  හිඟයට පිළියම් යෙදීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත නව පාසල් ගොඩනැගිලි ඉදිකිරීමට ඇති බාධා මඟහරවා ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇත. 

සාකච්ඡාවේදී මතු වූ කරුණු පිළිබඳ වැඩිදුරටත් සොයා බලා වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී ඇති ජනාධිපතිවරයා, මුස්ලිම් පාසල් මුහුණ දෙන අභියෝග පිළිබඳ තවදුරටත් සමාලෝචනය කිරීම සඳහා මෙම මස අවසානයේදී යළි සාකච්ඡාවක් කැඳවන බවද සඳහන් කර තිබේ.

උසස් පෙළ සමත් සිසුන් සඳහා වෘත්තීය පුහුණු වැඩසටහන් ආරම්භ කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දී ඇත. 

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් රොෂාන් ගුණතිලක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීහු බස්නාහිර පළාත් අධ්‍යාපන නිලධාරීන්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නියෝජිතයින්, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, පාසල් විදුහල්පතිවරුන්, පාසල් සංවර්ධන කමිටු සාමාජිකයින්, මුස්ලිම් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 

muslim schools


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්