රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් තමන් ඕනෑම පුද්ගලයකු සමග ඕනෑම විවාදයකට සූදානම් බව විපක්ෂ නායකවරයා

පවසයි.

මේ වන විට රටේ ප්‍රශ්න ගැන විවාදයක් අවශ්‍ය බවට සමාජයේ කතාවක් යන බවත් එවැනි විවාදයක් සිදු විය යුතු බවට තමා පිළිගන්නා බවත් විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් නිසා තමා ඕනෑම විවාදයකට සූදානම් බවයි විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස පවසන්නේ.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 140 වැනි අදියර යටතේ  මුලතිව් ඔඩ්ඩුසුඩාන් මුත්තුඅයියන්කට්ටු වම් ඉවුර  පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ආර්ථික, සමාජයීය, දේශපාලන, ජාත්‍යන්තර ආදී ඕනෑම ක්ෂේත්‍රයක් ඕනෑම මාතෘකාවක් ගැන වාද විවාද කිරීමට තමා සූදානම් බව ද ඔහු සඳහන් කළේය.

වාද විවාද කිරීම මෙන්ම ඒ හරහා රටටත් ජනතාවටත් අගයක් එකතු විය යුතු බවත් විපක්ෂයේ සිටින කාලය වාද විවාදවලට පමණක් සීමා නොකර ජනතාවට සේවයක් අගයක් ඉටු කළ යුතු බව ද විපක්ෂ නායකවරයා අවධාරය කළේය.

එසේම ඕනෑම වාද විවාදයකට තමා සූදානම් සේම තමා සමඟ තරගයට රටට සේවය කිරීමට පැමිණෙන ලෙසට ඕනෑම පක්ෂයකට අභියෝග කරමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය. 

 

සජිත්-අනුර විවාදයකට මාධ්‍ය සූදානම්

ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව විවාදයකට පැමිණෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පසුගියදා ජාතික ජන බලවේගයට අභියෝගයක් සිදුකළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති ඊයේ කියා සිටියේ ඉදිරියේදී පැමිණෙන්නේ ජනාධිපතිවරණයක් බැවින් එම විවාදය සමගි ජන බලවේගයෙන් නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර පැවැත්විය යුතු බවය.

කෙසේ වෙතත් එය එම පක්ෂයෙන් ලිඛිතව තමන් වෙත ලැබිය යුතු බව සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේය.

නමුත් සජිත් ප්‍රේමදාස ඊට සහභාගී නොවන්නේ නම් එම පක්ෂයේ ආර්ථික කමිටුවේ සාමාජිකයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජිකයින් අතර විවාදය පැවැත්වීම පිළිබඳ කරුණු සලකා බැලිය හැකි බව ඔහු සඳහන් කළේය.

පක්ෂ දෙකේ නායකයින් අතර හෝ ආර්ථික කමිටු සාමාජිකයින් අතර පැවැත්වෙන මෙම විවාදය සඳහා අවස්ථාව සලසාදීමට මාධ්‍ය ආයතන කිහිපයක් ම මේවනවිට ඉදිරිපත්ව ඇත.

(චතුරංග මේදිස්)

 
 
 
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්