ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සවිකිරීම සඳහා මිලදීගෙන ඇති සීසීවී කැමරා සවි නොකර වසර හයක් තිස්සේ ගබඩාවක විනාශ

වෙමින් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

සමහර නිලධාරීන් මෙවැනි ආයතන වල කැමරා උපකරණ සවි කිරීමට විරුද්ධ බවද කාරක සභාව පවසයි.

එම කැමරා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගෙන එහි ප්‍රගතිය ලබන මැයි මස 15 දිනට පෙර දැනුම් දෙන ලෙස කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

පසුගිය 2014 වසරේදී  මිලදීගෙන ඇති මෙම කැමරාවලට අවශ්‍ය උපාංග බොහොමයක් නොමැති බවද මෙහිදී තොරතුරු අනාවරණය විය.

මේවා මිලදී ගැනීමට මැදිහත් වූ නිලධාරීන් මේ වනවිට ස්ථාන මාරුවීම් ලබා ගොස් සිටින බවද සඳහන් විය.

 

මේ අතර ගුවන්තොටුපොළ ඊගේට් පහසුකමට අදාළ උපාංග මිලදී ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු සම්බන්ධ කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය දැනුම් දී තිබුණද තවමත් ඒ සඳහා පියවර නොගැනීම සම්බන්ධයෙන් කාරක සභාවේ අප්‍රසාදය පළවිය.

 

විද්‍යුත් ගමන් බලපත්‍රය නිකුත් කිරීම වසර හතරක් තිස්සේ ප්‍රමාද වීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුවිය. 2020 වසරේ ආරම්භ වී ඇති මෙම ප්‍රසම්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බව නිලධාරීහු පෙන්වා දුන්හ. එම කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස කාරක සභාව නියෝග කළේය.

රුසියානු සහ යුක්රේන ජාතිකයන් වීසා අවසන් වීමෙන් පසුවද මෙරට රැඳී සිටිමින් දකුණු ප්‍රදේශවල ව්‍යාපාර කටයුතු වල නිරතවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.මෙම පුද්ගලයන් ජීවත් වන ස්ථාන තහවුරු කර ගැනීමේ ගැටළු පවතින බව නිලධාරීහු පැවසූහ. මේ අනුව මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක්  හඳුන්වා දී ජනතාවගේ සහාය ලබා ගැනීමට කාරක සභාව නිර්දේශ කළේය.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ප්‍රියදර්ශන සිල්වා, ප්‍රසන්න රණවීර, ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි තිස්ස අත්තනායක, ජේසි අලවතුවල, වීරසුමන වීරසිංහ, මධුර විතානගේ, වෛද්‍ය උපුල් ගලප්පත්ති, මේජර් ප්‍රදීප් උඳුගොඩ සහ කරුණාදාස කොඩිතුවක්කු ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

(lankadeepa.lk - සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්