leader s

යුද්ධයෙන් මරාදමා පහලොස් අවුරුද්දක් ගතවීත් යුක්තිය නොලද ස්වකීය ආදරණීයයන් සිහිපත් කිරීම සදහා ප්‍රදේශවාසී ජනතාවට කැඳ දන් දීම

නිසා කාන්තාවන් තිදෙනකු ඇතුළු දෙමළ ජාතිකයන් සිව් දෙනකු ප්‍රචණ්ඩ ලෙස අත් අඩංගුවට ගැනීමට මග පෑදු මුතුර් අධිකරනයේ තහනම් නියෝගයක් දින හතරක් තුලදී ඉවත් කරගැනීමට නීතිඥවරුන් සමත්ව තිබේ.

කැඳ තහනම ඉවත් කරගැනීම සඳහා අධිකරණයේ කරුණු දැක්වීමට තමන් සමග එක්වූ මුස්ලිම් නීතිඥ මණ්ඩලයකට නීතිඥ කනගරත්නම් සුගාෂ් මාධ්‍යවේදීන් හමුවේ හෘදයාංගම ස්තුතිය පුද කර තිබේ.

“විශේෂයෙන්ම සමහර නීතිමය කාරනා සම්බන්ධයෙන් මා සමග සාකච්ඡා කරලා මට මග පෙන්නුවා කියලත් කියන්න ඕනේ. මේ වගේ අනුග්‍රහයක් මට ලැබේවි කියලා මම බලාපොරොත්තු උනේ නැහැ. ඒ හින්දා ඒ මුස්ලිම් නීතිඥවරුන්ට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. මේක දෙමළ-මුස්ලිම් ජාතීන් අතර බැඳීම අනාගතයේදී වැඩි කරන්න මග පාදන නඩුවක් වන බවට විශ්වාස කරනවා.”

 

අධිකරණයේ දී ලද ජයග්‍රහනයෙන් පසු නීතිඥ කනගරත්නම් සුගාෂ් මැයි 16 වැනිදා ප්‍රදේශයේ මාධ්‍යවේදීන් හා කියා සිටියේ දකුණට නීති විරෝධි නොවන කටයුත්තක් උතුරු, නැගෙනහිරට නීති විරෝධි වන්නේ කෙසේදැයි අධිකරණය හමුවේ ප්‍රශ්න කළ බවයි. 

 

“කැඳ ඉවීමට විරුද්ධව මුතුර් අධිකරණය විසින් පනවා තිබු තහනම ඉවත් කළා. අපි අධිකරණයේ ප්‍රශ්න කීපයක් මතු කළා. දකුණු ලංකාවේ කිරිබත් දෙන එක නීති විරෝධී නැතිනම්, උතුරු නැගෙනහිර කැඳ බෙදන එක නීතිවිරෝධී වෙන්නේ කොහොමද කියලා අපි ඇහුවා. මේක දිගටම මෙහෙම යන්න ඇරියොත්, ගෙවල්වල කැඳ උයන කට්ටියත් ඉස්සරහට පොලිසියෙන් අත් අඩංගුවට ගැනීමේ අනතුරක් තියෙනවා කියලා අපි පෙන්වා දුන්නා. අපේ කරුණු දැක්වීම පිළිගත් අධිකරණය පනවා තිබු තහංචිය ඉවත් කළා. ”

රජයේ ආරක්ෂක අංශ අතින් ඝාතනයට ලක් වු  ස්වකීය ආදරණීයයන් සිහිපත් කිරීම සදහා කැඳ බෙදාදීම දෙමළ ජනයාට තහනම් කරමින් උසාවි නියෝගයක් ලබා ගත් පොලීසිය විසින් මැයි 12 ඉරිදා රාත්‍රියේ දී අත් අඩංගුවට ගන්නා ලද කමලේස්වරන් තෙන්නිලා, කමලේස්වරන් විජිතා, සෙල්වවිනෝද් සුජානි සහ නවරත්න රාසා හරිහරකුමාර් යන සිව් දෙනා මුතුර් අධිකරණය විසින් දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.

පොලිස් නිල ඇඳුම්න් සිටි පිරිමින් විසින් අත්අඩංගුවට ගත් කාන්තාවන් අමානුෂික ලෙස බිම දිගේ ඇදගෙන යන ආකාරය ද ප්‍රදේශවාසීන් විසින් විඩියෝ ගත කර තිබේ.

 

පොලිස් නිල ඇඳුම්න් සිටි පිරිමින් විසින් අත්අඩංගුවට ගත් කාන්තාවන් අමානුෂික ලෙස බිම දිගේ ඇදගෙන යන ආකාරය 

 

නීතිඥ කනගරත්නම් සුගාෂ් පවසන්නේ අත්අඩංගුවේ ඉන්නා අය සම්බන්ධයෙන් වන ලියකියවිලි ද කඩිනමින්  ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලීසියට නියෝග කළ බවයි.

“නඩුවේ සැකකාර පුද්ගලයන් ICCPR නීතිය යටතේ අත් අඩංගුවට අරං තියෙන නිසා, ඒ අය සම්බන්ධ ලියකියවිලි පමා නොකර අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා අධිකරණය පොලිසියට නියෝග කළා. ඒ නිසා ඒ අයත් ඉක්මනින් එලියට ගන්න අවස්ථාව උදා වෙලයි තියෙන්නේ. ”

අත් අඩංගුවට ගත් පුද්ගලයන්  සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 03 වැනි වගන්තිය යටතේ වරදක් සිදු කර ඇද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරගෙන යන බව සාම්පුර් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩබ්.ජේ තුෂාර මැයි 13 වැනිදා මුතුර් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබුනි.

එදින අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ තහනම සිංහලෙන් දක්වා තිබුනේ “මුල්ලිවෛක්කාල් ජන සංහාරය නමින් හඳුන්වමින් අවසන් එල්ටීටීඊ සටනේදී මියගිය කොටි සාමාජිකයින් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සාම්පුර් පොලිස් වසමේ සංවිධානය කර තිබු සැමරුම් උත්සව වලකා ලීම සඳහා මුතුර් ම/උ නඩු අංක ඒ ආර් 211/24 යටතේ ගරු අධිකරණයට කරුණු වාර්ථා කර ලබාගන්නා ලද වාරණ නියෝගය” යනුවෙනි.

 

කෙසේ වෙතත්, මුතුර් මහේස්ත්‍රාත්වරයා විසින් යුද්ධයෙන් මළවුන් අනුස්මරනයටත්, කැඳ බෙදීමටත් එරෙහිව  මැයි 12 දා නිකුත් කරන ලද AR 211/ 24 වාරණ නියෝගයේ කිසි තැනක විමුක්ති කොටි සංවිධානය ගැන කිසිදු සඳහනක් නැත.  

 

“සාම්පූර් පොලිස් වසමේ නීත්‍යානුකූලව භාවිත කළ හැකි පොදු ස්ථාන, පාසල්, කෝවිල්, වැනි පොදු ස්ථානවල වෙල්ලමුල්ලිවයිකාල්හි දී මියගිය අය අනුස්මරණය කිරිමේ අරමුණින් ක්‍රියාත්මක වීම, නීතිවිරෝධී ලෙස ජනතාවට අපහසුතාවයක් ඇති වන ආකාරයෙන් පුද්ගලයන් එක්රැස් කිරීම, මෝටර් රථ පෙළපාලි සහ ජනතාවගේ සෞඛ්‍යයට බාධා වන අයුරින් ජනතාවට බෝවන රෝග ඇති වන අයුරින් පොදු ස්ථානයක රැස්වීම, මහජන සෞඛ්‍යයට අහිතකර ලෙස ඕනෑම බෝවන රෝගයක් ඇති වන පරිදි ජනතාවට ආහාර භාජන හෝ කැද, ඕනෑම බීමක් ලබා දීමට ජනතාව එක්රැස් කිරීම හෝ ජනතාවගේ සෞඛ්‍යයට හා ජීවිතයට අනතුරක් විය හැකි කිසිදු ක්‍රියාකාරකමක් කිරීමෙන් වැලැකී සිටීමට....,” යනුවෙන් දෙමළෙන් ලියා ඇති නියෝගයේ දැක්වේ.

ඒ අනුව දින 14 ක කාලයක් සදහා බලපැවැත්වෙන පරිදි මහවිරු සංගමයේ සභාපති කන්දයියා කාන්දීපන්, මහවිරු සංගමයේ උප සභාපති සාන්තලිංගම් ගෝපිරාසා , මුතුර් මහවිරු සංගමයේ භාණ්ඩාගාරික නවරත්න රාසා හරිහරකුමාර්,  මුතුර් මහවිරු සංගමයේ ලේකම් සෙල්වවිනෝද් සුජානි, මහවිරු සංගමයේ සාමාජිකයන් සහ වෙනත් පුද්ගලයන්ට මුතුර් අධිකරණය විසින් මෙම තහනම් නියෝගය නිකුත් කර තිබුනි.

ආණ්ඩුවේ සම්බාධක නිසා කුසට අහරක්, ලෙඩට බෙහෙතක් නැතිව සිටි දසදහස් සංඛ්‍යාත ජනකායක් යුද්ධයේ අවසන් දවස්වලදී දියට දැමු සහලින් පිසූ මුල්ලිවයික්කාල් කැඳෙන් එදාවේල පිරිමසාගත් අයුරු සිහිපත් කරමින්, බර අවියෙන්ද, හාමතින්ද, රෝගාබාධයෙන්ද පහලොස් වසරකට ඉහත දී ඝාතනය කරන ලද්දවුන්ට පිං අනුමෝදනා පිණිස ත්‍රිකුණාමලයේ සාම්පුර්, සේනයුර් පිල්ලයාර් කෝවිල ඉදිරිපිට දී කැඳ පිසීමට ප්‍රදේශවාසී ජනයා මැයි 12 වැනිදා ඉරිදා පෙරවරුවේ කටයුතු සුදානම් කර තිබුනි.

 

අධිකරණයෙන් ලබාගත් වාරණ නියෝගය සහිතව එම ස්ථානයට පැමිණි සම්පුර් පොලිස් නිලධාරීන් අධිකරණ නියෝගය එම පිරිසට ලබා දීමට උත්සාහ කළ අවස්ථාවේ ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබුනේ තමන් කැඳ පිසීම සිදු කරන්නේ යුද්ධයේදී මිය ගිය සිය ඥාතීන් අනුස්මරණය කිරීම වෙනුවෙන් විනා දෙමළ මහවිරුවන් වෙනුවෙන් නොවන බව පවසමිනි. 

 

අධිකරණ නියෝගයේ මහවිරුවන් ගැන කිසිත් සඳහන් නොවන බව පොලිස් නිලධාරියකු කැඳ පිසින්නන්හට පවසනු වීඩියෝ ගතව තිබේ.

එයින් පැය කිහිපයක් ගතවී රාත්‍රියේ ඔවුන්ගේ නිවෙස් වෙත ගිය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන මැයි මස 13 වැනිදා මුතූර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන ලද සිව්දෙනා මැයි මස 27 දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.  

සාම්පුර් පොලිස් ස්ථානාධිපති විසින් එදින එම පිරිස අධිකරණයට හඳුන්වා දී තිබුනේ “සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අනුමැතියකින් තොරව මහජනතාවට බෙදා දීම සඳහා කැඳ සකස් කිරීම හා මියගිය එල්ටීටීඊ සාමාජිකයින් සිහිකර මෙම කැද බෙදා දීමට කටයුතු කරණ අයවලුන්” ලෙසය.  

මළවුන් සැමරීමට සැරසුණු කාන්තාවන් අත් අඩංගුවට ගැනීමේදී දියත් කෙරුණු ප්‍රචණ්ඩ පොලිස් හිංසනය දැක්වෙන වීඩියෝ දර්ශන ප්‍රසිද්ධියට පත් වීමත් සමගින් නැගුනු බලවත් විරෝධය පාර්ලිමේන්තුවද අවුළුවා ලීය. ඉන් අනතුරුව මැයි 14 දා පොලිස් මුලස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනයක මෙසේ සඳහන් වේ.

 

“මෙම සැකකරු හා සැකකාරියන් තිදෙනා අත් අඩංගුවට ගනු ලැබුවේ කැඳ වර්ගයක් බෙදා දීමට කටයුතු කළ නිසා බවට සමාජ මාධ්‍ය ජාලා වල පලවන අතර එය සිදුවීම වැරදි ලෙස වාර්තා කිරීමකි. එම සැකකරු හා සැකකාරියන් අත් අඩංගුවට ගෙන ඇත්තේ ඉහත සඳහන් චෝදනා වලට සහ විශේෂයෙන් එල්.ටී.ටී.ඊ සැමරුම් උත්සව සැමරීමට එරෙහිව ගැනීම බව පොලිසිය විසින් අවධාරණය කර සිටියි.” 

 

සිය මව අත්අඩංගුවට ගැනීම වලකා ලන්නට ‘පිහියක් ගෙලට තබාගෙන කලහකාරී ලෙස හැසිරුණු’ බවට ඇගේ දියණියට චෝදනා කරන මුතුර් පොලිසිය ‘සැකකාරිය අත් අඩංගුවට ගැනීමට ගිය කා.පො.කො.9396 උමා ගෞරි නිලධාරිනියගේ අතෙහි ඇඟිලි දෙකක් කපා තුවාල සිදු කිරීම සම්බන්ධයෙන්’ දියණියද අත් අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී සිදුවී ඇත්තේ අම්මා අත් අඩංගුවට ගැනීමට විරෝධය පා තමන්ට තුවාල කරගැනීමට ගිය දියණියගෙන් පිහියක් උදුරා ගන්නට ගිය පොලිස් නිලධාරිනියට මෙන්ම මවටත් තුවාල සිදුවීම බව අසල්වාසීහු නීතිඥයන්ට පවසා තිබේ.  

එහෙත් කොළඹ පොලිස් මාධ්‍ය කොට්ඨාසය එය හඳුන්වා ඇත්තේ ‘තියුණු ආයුධයකින් සිදු කරනු ලද පහරදීමක්’ ලෙසයි.  

අත් අඩංගුවට ගන්නා ලද්දවුන් තවදුරටත් රඳවා තබා ගැනීමට ඉල්ලා සිටීමේදී සාම්පුර් පොලිස් ස්ථානාධිපතිවරයා මුතුර් මහේස්ත්‍රාත්වරයාට දන්වා ඇත්තේ LTTE සංවිධානය ‘ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිදුකරනු ලබන ක්‍රියාකාරකම් හේතුවෙන්’  2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 03 වගන්තිය යටතේ වන වරදක් සිදුකර ඇත්දැයි විමර්ශනය කරගෙන යන බවයි.

 

ICCPR පනතේ 03 වගන්තියේ සඳහන් වරදක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අයකුට මහාධිකරණයකට වඩා පහල අධිකරණයකින් ඇප ලබා ගැනීම අසීරුය. නඩු විභාගයට පසුදා පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ ICCPR පනත යොදා ගැනීමක් ගැන කිසිදු සඳහනක් නැත. එහි අරමුණ වන්නේ කැඳ බෙදීම ම ඉලක්ක කොටගත් පොලිසියේ සැබෑ අභිප්‍රාය වසං කිරීම බවට හිටපු මානව හිමිකම් කොමසාරිස්වරියක් තර්ක කරයි. 

 

“අනුස්මරණ වැලැක්වීමේ ස්වකීය අරමුණ වසං කිරීම සඳහා පොලිසිය විසින් අවස්ථා LTTE සැමරුම් හා LTTE ය නැවත නගා සිටුවීමට වීරිය දැරීම් ලෙස හංවඩු ගසමින්, ICCPR පනත ආයුධයක් කරගනිමින් සිටියි. ඔව්, ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ ප්‍රතිරෝධය දැක්වීමේත්, දෘඪග්‍රාහී බවේත්, ඔරොත්තු දීමේත් සංකේතයක් වන  කැඳ පිසීම සහ දන් දීමය,” යි වද වින්දිතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ භාරකාර අරමුදලේ සාමාජිකා අම්බිකා සත්කුනනාදන් නීතිඥවරිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ.

ජාතික, වාර්ගික හෝ ආගමික වෛරයෙන් පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා පනවා ඇති නීතියක් සේ ගැනෙන ICCPR පනත විරුද්ධ මතධාරීන් මර්දනය සඳහා අයුතු ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන්ද දැඩි දෝෂ දර්ශනයට ලක්ව සිටී.


සබැඳි පුවත් :

'මුල්ලිවයික්කාල් කන්ජි' නොහොත් කැඳ යනු මොනවාද? එය සකස් කරන්නේ ඇයි?


මුල්ලිවයික්කාල් කැඳ දන්සැල් තහනම් කිරීම සහ අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ ඇයි?

 

යුද සමයේ මියගිය හා අතුරුදන් වූ පුද්ගලයන් ගැන සංවේදී ලෙස ක්‍රියාකල යුතුයි - කරු 

 

නැගෙනහිර කැඳ දන්සලක් වැසීමේ පොලිස් උත්සාහය අසාර්ථකයි

‘ත්‍රස්තවාදය’ට විරුද්ධව වෙසක් මාසයේ කැඳ දන්සලකට උසාවි තහංචි

 

කැඳ දන්සලක් දුන්නාට උසාවි නියෝගයෙන් දෙමළ හතරක් කූඩු කෙරේ

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil