නිරූපිකාවක් ලෙසින් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පියුමි හංසමාලි කලින් කලට පුවත් මවන්නියකි.


ඇය මෑතක දී වඩාත්ම කතා බහට ලක් වී ඇත්තේ ඇගේ වත්කම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවක් හේතුවෙනි. පියුමි හංසමාලි උපයාගත් බව කියන වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ‘මගෙන් රටට’ සංවිධානයේ ලේකම් සංජය මහවත්ත විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය අවසර ලබා දී ඇත.


කවු ද මේ පියුමි හංසමාලි?


1992 වසරේ උපන් පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් සිය වෘත්තිය ආරම්භ කරන්නේ 2010- 2011 කාලවකවානුවේදී නිරූපිකාවක් ලෙසයි. ඒ වන විට මවක් වූ ඇය සිය දරුවා තනිව හදාවඩාගන්නා ‘සිංගල් අම්මා’ කෙනෙකු ලෙස සමාජයේ ප්‍රසිද්ධියට පත්ව සිටියා ය.

2014 දී ඇය ඇගේ පළමු ටෙලිනාට්‍යට රංගනයෙන් දායක වූවා ය. නැවත ඇය 2018 වසරේ දී චිත්‍රපටයකට රංගනයෙන් දායක වූ අතර, 2019 දී මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන අනිල් කුමාර් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක ජැක්සන් ඇන්තනී සමඟ රංගනයෙන් දායක වූවා ය. මෙම කාලය අතරතුර ඇය ජාත්‍යන්තර නිරූපණ තරග කිහිපයක් ද නියෝජනය කළ අතර, වෙළඳ දැන්වීම් සහ ගීත වීඩියෝ සඳහා ද පෙනී සිටියා ය.

සමාජ මාධ්‍යයේ බලපෑම් සහගත අයෙකු (Social Media Influencer) වන ඇයට ෆේස්බුක් හි අනුගාමිකයන් 577,000ක් සිටින අතර, ඉන්ස්ටර්ග්‍රෑම්හි අනුගාමිකයන් මිලියන 2.2ක් සිටියි. ඇගේ ටික්ටොක් ගිණුමේ ද අනුගාමිකයන් මිලියන 1.6ක් සිටියි. වර්තමානය වන විට ඇය සම පැහැපත් කරන ආලේපන අලෙවි කරන සමාගමක් පවත්වාගෙන යනු ලබයි. එමෙන් ම ඇය විසින් පසුගිය වසරේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ රේන්ජ් රොවර් රථය මිලට ගත් බව ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් වල පළ කර තිබුණි. එමෙන් ම ඇය ‘The Grand’ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයෙන් නිවසක් ද මිලට ගනු ලැබුවේ පසුගිය වසරේ යි.


socail mediaසමාජ මාධ්‍යයේ බලපෑම් සහගත අයෙකු (Social Media Influencer) වන ඇයට ෆේස්බුක් හි අනුගාමිකයන් 577,000ක් සිටින අතර, ඉන්ස්ටර්ග්‍රෑම්හි අනුගාමිකයන් මිලියන 2.2ක් සිටියි

පියුමිට එල්ල වී ඇති චෝදනා මොනවාද?


පියුමි හංසමාලි විසින් මිලදී ගෙන ඇතැයි පැවසෙන රේන්ජ් රෝවර් රථයක් සහ සුඛෝපභෝගී නිවස මිල දී ගැනීම සිදු කිරීමට ඇයට මුදල් ලැබුණේ කෙසේ ද යන්න පැමිණිලිකාර පාර්ශවය විසින් විමසන ප්‍රධාන ප්‍රශ්නයකි. පැමිණිල්ල ඉදිරිපත් කළ ‘මගෙන් රටට’ සංවිධානයේ ලේකම් සංජය මහවත්ත කියා සිටියේ එසේ නම් ඇය උපයා ඇති වත්කම්වලට ආදායම් බදු ගෙවා තිබෙදැයි සොයා බැලිය යුතු බවයි.

‘2023.03.07 දින පියුමි හංසමාලි, ප්‍රගීත් කියන පුද්ගලයා සමඟ ඇවිත් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා භාවිත කළ CDM 1949 අංකය දරන රේන්ජ් රෝවර් රථය මිලට ගෙන තියෙනවා. ඇය කියන විදිහට මෙම රථය රුපියල් ලක්ෂ 780ක් වටිනවා,’ සංජය මහවත්ත පැවසුවේ ය. මෙම රථයේ හිමිකරු මධුර වික්‍රමරත්න නැමැත්තෙක් බවත්, ඔහු වසර 40ක් පුරා යුද හමුදාවට ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුව භාරව සිටින පුද්ගලයා බවත් සංජය පැවසුවේ ය. එම රථය හිමිකරු විසින් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ භාවිතය සඳහා ලබා දී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ද සැකයක් ඇති බව සංජය පෙන්වා දෙයි. එම රථයේ මුදල් ගෙවූ ආකාරය සම්බන්ධයෙන් සිය සංවිධානය සොයා ගත් කරුණු ඔහු මෙලෙස බීබීසී සිංහල වෙත පැවසුවේ ය.

‘2023.03.07 පියුමි සහ ප්‍රගීත් කියන අය විසින් ලක්ෂ පහක් ගෙවලා මේ මෝටර් රථය අරන් තියෙනවා. ඊට පස්සෙ තවත් ලක්ෂ 50ක් ගිණුමකට බැර කරලා තියෙනවා. ඉන්පසු නැවතත් තවත් ලක්ෂ 100ක් සම්පත් බැංකුවේ ගිණුමකට බැර කරලා තියෙනවා. ගෙවීමට ඇති ඉතුරු ලක්ෂ 400 සඳහා ඇය වැලිබල් ආයතනයෙන් කල්බදු පහසුකමක් ලබාගෙන තියෙනවා ස්පීඩ් ඩ්‍රාෆ්ට් කියන ක්‍රමවේදය යටතේ. ඒ 2023 මාර්තු 07 දිනයේ දී. ඒ සඳහා අත්සන් තබලා තියෙන්නේ අංගම්පොඩි ප්‍රගීත් ධනුෂ්ක මෙන්ඩිස් සහ ජයසිංහ ආරච්චිගේ චන්දිම නුවන් කියලා දෙදෙනෙක්,’ ඔහු විස්තර කළේ ය.

‘මේ ස්පීඩ් ඩ්‍රාෆ්ට් එක නැවත 2023 ජුනි 30 වෙනිදා අවසන් කරලා තිබෙනවා. ඒ සඳහා නැවත ඒවසරේ ම ජුලි 24 ලක්ෂ 450ක ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් අරගෙන දෙසැම්බර් 18 අවසන් කර තිබෙනවා. ඉන් පසුව නැවතත් ලක්ෂ 250ක ලීසිං පහසුකමක් සහ ලක්ෂ 200ක ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් වෙන වෙනම ආරම්භ කරලා තිබෙනවා. මේ ලීසිං වර්තමානය වන විටත් තිබෙනවා.’


range roverපියුමි හංසමාලි විසින් මිලදී ගෙන ඇතැයි පැවසෙන රේන්ජ් රෝවර් රථයක් සහ සුඛෝපභෝගී නිවස මිල දී ගැනීම සිදු කිරීමට ඇයට මුදල් ලැබුණේ කෙසේ ද යන්න පැමිණිලිකාර පාර්ශවය විසින් විමසන ප්‍රධාන ප්‍රශ්නයකි

පියුමිගේ කෝටි 15ක නිවස


සංජය මහවත්ත ඇතුලු කණ්ඩායම විසින් ගොනු කළ පැමිණිල්ලේ දෙවැනි කරුණ ලෙස දක්වා තිබෙන්නේ පියුමි හංසමාලි විසින් පසුගිය වසරේ දී මිලට ගත් සුඛෝපභෝගී නිවසයි. ‘මේ තැනැත්තිය පසුගිය වසරේ දී "The Grand" මහල් නිවාස සංකීර්ණයේ සුඛෝපභෝගී නිවසක් රුපියල් මිලියන 148කට මිලට ගෙන තියෙනවා. එහි මුදල් අවස්ථා 15ක දී පසුගිය වසරේදීම ගෙවා අවසන් කර තිබෙනවා. 2023 දෙසැම්බර් 12 ඇය මිලියන 40ක් අවසන් වාරිකය විදිහට ගෙවලා තියෙනවා. ඊට පෙර ජුලි 26 මිලියන 50කුත් ගෙවා තිබෙනවා.’

සංජය පෙන්වා දෙන්නේ පියුමි හංසමාලිට අයත්, බැංකු 09ක පවත්වාගෙන යන ගිණුම් 20ක තොරතුරු ඔවුන් සතුව ඇති බවත්, පසුගිය වසරේ මාර්තු මස සිට මාස හයක කාලය තුළ ඇගේ ගිණුම් හරහා කෝටි 30ක පමණ මුදලක් සංසරණය වී ඇති බවත් ය.


මේ සල්ලි ගෙවුවේ ‘ලොලීයා’ ද?


පියුමි හංසමාලි සිය ප්‍රධාන ආදායම් මාර්ගය බවට කියා සිටින්නේ ඇයගේ රූපලාවණ්‍ය ආලෙපන සමාගමයි. මෙම සමාගම 2022.04.19 දිනා ලියාපදිංචි කරන ලද සමාගමක් බව සංජය පවසයි.

‘අපි සතුව දැනට තිබෙන ලේඛණවලට අනුව මෙම සමාගම 2022 වසරේ අප්‍රේල් 19 දින තමයි ලියාපදිංචි කර තිබෙන්නේ. එහි අධ්‍යක්ෂකවරුන් ලෙස පියුමි හංසමාලි සහ ලොකු ලියනගේ වසන්ති පෙරේරා කියන දෙදෙනා සිටිනවා. අපට ගැටළුවක් තිබෙනවා මේ ආලේපනය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය තිබෙනවා ද කියන එක. ඒ වගේ ම මෙහි සායනික පරීක්ෂණ කර තිබෙනවා ද, මේවා නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරය කොහෙද තියෙන්නේ, ආනයන හා අපනයන බලපත්‍ර වගේ ම රේගුවේ නිෂ්කාෂණය කළේ කොහොම ද කියන දේවල් සොයා බැලිය යුතුයි,’ ඔහු පෙන්වා දෙයි. සංජය පවසන්නේ පියුමි හංසමාලි විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම් වල පල කරන ඇය පාවිච්චි කරන අත්බෑග්, ඔරලෝසු, ආභරණ වැනි ඒවා ද අතිශය මිල අධික භාණ්ඩ වන බවයි. ‘ඇයගේ දිනපතා දාන ස්ටෝරිවල ඇය දානවා ලක්ෂ ගණනක් වටින ඔරලෝසු සහ අත්බෑග් වගේ දේවල්. ඒ වගේ ම ඇය වසර දහයකට පෙර සිටි රූපය නොවෙයි අද තියෙන්නේ. ඒ සඳහා ඇය කළ මිල අධික සැත්කම්වලට ගෙවුවේ කොහොමද කියන කාරණාවත් සොයා බැලිය යුතුයි..’

ඔහු පවසන්නේ ඇය සිය නව නිවස මිලට ගැනීමට පෙර සිටි "හිල්ටන් රෙසිඩන්ස්" සඳහා මුදල් ගෙවූ ආකාරය ද සොයා බැලිය යුතු බවයි.

‘මේ සියලු චෝදනා අතුරින් අපි පැමිණිල්ලේ ඉදිරිපත් කරලා තිබෙන්නේ රේන්ජ් රෝවර් රථය සහ නිවස මිල දී ගැනීම සම්බන්ධයෙන්. අපි සතුව තිබෙන සියලු තොරතුරු අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීලා තියෙනවා.’


මේ පිටුපස සිටින්නේ දේශපාලනඥයන් ද?


පියුමි හංසමාලි සිය ගිණුම් හරහා පුද්ගලයන් 50ක් සමඟ ගනුදෙනු කර ඇති බවත්, ඇය ප්‍රභල දේශපාලනඥයන්ගේ සහ රටේ ආරක්ෂක අංශයේ ඉහළම තනතුරක් දරණ පුද්ගලයකුගේ බිරිඳ ඇතුළු බිරින්දැවරුන් හතරදෙනෙකු ඉතා සමීපව ආශ්‍රය කරන බව සැකයට කරුණක් බවත් සංජය මහවත්ත පෙන්වා දෙයි. ‘මේ වන විට නඩුවක් ක්‍රියාත්මක නිසා මට ඒ අයගේ නම් කියන්න හැකියාවක් නෑ. නමුත් මේ සල්ලි පිටිපස්සේ ආයුධ වෙළඳාම්, අල්ලස් සහ තවත් නීති විරෝධී ජාවාරම් රැසක් සැඟවිලා ඇති කියලා අපට සැකයක් තිබෙනවා.’


nihalපොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූවගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වමින් සිටින බවයි

පියුමි හංසමාලිගේ ප්‍රතිචාරය

මෙලෙස එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පියුමි හංසමාලඉගේ ප්‍රතිචාරය විමසීමට බීබීසී සිංහල විසින් උත්සහයන් රැසක් ගනු ලැබූව ද ඇය සම්බන්ධ කරගැනීමට නොහැකි විය. දුරකතනය හරහා සහ සමාජය මාධ්‍ය ගිණුම් හරහා සම්බන්ධ කරගැනීමට උත්සහ කර ගැනීමට නොහැකි වූ විට, ඇගේ ආලේපන විකිණීම සඳහා යොදා ඇති දුරකථන අංක ඔස්සේ ද ඇය සම්බන්ධ කරගැනීමට ගත් උත්සහයන් ද ව්‍යර්ථ විය.

කෙසේ නමුත් ඇයගේ ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම්වල ඇය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන පළ කිරීම් සිදු කර තිබේ. සංජය මහවත්ත විසින් අප්‍රේල් 17 දින මේ සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කිරීමෙන් පසුව පියුමි හංසමාලි ඔහුට ප්‍රතිචාර දක්වා තිබේ.‘පැමිණිල්ල සිදු කරපු අප්‍රේල් 17 වැනිදාට පසුව ආසන්න දවසක දී ඇය මට අසභ්‍ය වචන වලින් කෙටි මැසේජ් එකක් ඒවලා තිබුණා. එය ස්ක්‍රීන්ශොට් එකක් වශයෙන් තබාගෙන සිටිනවා සාක්ෂියක් විදිහට,’ සංජය පැවසුවේ ය.


පොලිසිය පවසන්නේ කුමක් ද?

මේ වන විට පැණිල්ල සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන පියුමි හංසමාලි ප්‍රමුඛ පෙළේ බැංකු අටකින් පවත්වාගෙන ගොස් ඇති බැංකු ගිණුම් 19ක වාර්තා ලබා ගැනීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේ ජුනි 19වැනිදාය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූවගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වමින් සිටින බවයි.


(BBC සිංහල සේවය)



worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්