කොරෝනා වෛරසයෙන් මුළු මහත් සමාජයම තැති ගැම්මකට ලක්ව තිබිය දී එම 'භීතිය' පාදක කර ගනිමින්, පාර්ලිමේන්තුවක් හෝ මන්ත්‍රීවරුන් අවශ්‍ය නැතැයි කියන මතවාදයක් ඉතාමත් සැලසුම් සහගත ලෙස සමාජ මාධ්‍ය හරහා සමාජ ගතකරමින් තිබෙන බව පෙනේ.

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් නොමැති වුවද ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශ හා සෞඛ්‍ය බලධාරීන් කිහිප දෙනෙකු යොදා ගනිමින් කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලාංකීය ජනතාව මුදා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, පාර්ලිමේන්තුවක් පැවතියේ නම් තත්වය නරක අතට හැරීමට ඉඩ තිබු බවත් එම සමාජ මාධ්‍ය මෙහෙයුමේ මුලික අදහස වී ඇත.

කොරෝනා භිෂණය හරහා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවට බොහෝ දේශපාලන විචාරකයින් මේවනවිට අනතුරු අඟවා ඇති අතර ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් ද මේ සම්බන්ධයෙන් සැක මතු කර ඇතැයි වාර්තාවේ.

225 post 2020
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අවලංගු කරනු !

රට බරපතල ආපදාවකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක විසුරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව යළි කැඳවා ආපදා කළමනාකරණ සේවා මෙහෙයවන මෙන් විරුද්ධ පක්ෂ මෙන් ම උගතුන්, මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාධරයන් ඇතුළු පිරිස් ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.
Ranajiwi 2020.03.31
බීබීසී සිංහල සේවය ඇතුළු මාධ්‍ය වෙත නිවේදනයක් එවමින් මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්, කොරෝනාවෛරස වසංගතයත් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයකට මුහුණ දී සිටින බවට අනතුරු අඟවා ඇත.

විශේෂයෙන්ම වසංගතය මතුවෙමින් පවතිද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම දැඩි දෝෂදර්ශනයට ලක් කරන මහාචාර්ය රත්නජීවන් හූල්, පවතින වාතාවරණය යටතේ "ඒකාධිපතිවාදයක්" මතුවීම වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් වහාම අවලංගු කරනු ලැබිය යුතු බවත් අවධාරණය කරයි.

Screen Shot 2020 03 30 at 10.02.34 PM                                                              මහාචාර්ය රත්නජීවන් හූල් ගේ ලිපියෙන් කොටසක්...

කොරෝනා හරහා මතුවන ඒකාධිපතිවාදය වලක්වමු !

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහාචාර්ය රොහාන් සමරජීව පවසා තිබුණේ පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කැඳවන මෙන් තමන් ද හිටපු කතානායක කරු ජයසූරිය අමතා කිහිප වතාවක් ම ඉල්ලා සිටි බවය.

හිටපු කතානායකවරයාගේ ඉල්ලීම ප්‍රකාර අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය දා පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබිණි.

Screen Shot 2020 03 30 at 10.02.39 PM
 'අතිශය අවදානම් සහගත ගමනක්' -කුසල් පෙරේරා 

මේ අතර ප්‍රවීන දේශපාලන විචාරකයකු හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන කුසල් පෙරේරා පවසන්නේ, ''මෙය මැතිවරණයක් ගැන කිසිදු හෝඩුවාවක් නැති සමාජයකට අතිශය අවදානම් සහගත ගමනක්''බවයි.

''සියල්ල මධ්‍යගතව ඇත්තේ ජනාධිපති සහ ඔහු විසින් පත්කර ඇති හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් වන කාර්යසාධන කමිටුව මූලිකව ය. මේ මධ්‍යගතවීම “ආණ්ඩුව” ලෙස පිළිගැනුමක් ලබා ඇත. එය ජනතාවට වගකීම සඳහා සෘජුව බැඳී නොමැත. වගකීම ඇත්තේ ඔවුන්ගේ තීන්දු පිළිගැනීමට බැඳී ඉන්නා සමාජයටය.'' - කුසල් පෙරේරා

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩි දුරටත් මෙසේද සඳහන් කර තිබේ.

'' ...... ඇඳිරි නීති, අත් අඩංගුවට ගැනීම්, හමුදා පොලීසි යොදා ගැනීම් ඔවුන්ගේ ඇමති මණ්ඩල සාකච්ඡාවන්හි අනුමත කරනවාට වඩා වෙනත් කිසිවක් කළ හැකි තත්ත්වයක දැන් තාවකාලික ආණ්ඩුව නැත. මේ වර්ධනය වන තත්ත්වයෙහි තාවකාලික ආණ්ඩුවක් ඇතැයිද ජනතාවට මතකයක් නැත.

සියල්ල මධ්‍යගතව ඇත්තේ ජනාධිපති සහ ඔහු විසින් පත්කර ඇති හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් වන කාර්යසාධන කමිටුව මූලිකව ය. මේ මධ්‍යගතවීම “ආණ්ඩුව” ලෙස පිළිගැනුමක් ලබා ඇත. එය ජනතාවට වගකීම සඳහා සෘජුව බැඳී නොමැත. වගකීම ඇත්තේ ඔවුන්ගේ තීන්දු පිළිගැනීමට බැඳී ඉන්නා සමාජයටය.

කමිටුවේ ඉන්නේ කවුරුන්දැයි අසන්නටවත් උනන්දුවක් නැති නාගරික මැද පංතිය සමාජයෙන් ඉල්ලන්නේද ඒ සියල්ලට අවනතවීමේ වගකීමය. එය මැතිවරණයක් ගැන කිසිදු හෝඩුවාවක් නැති සමාජයකට අතිශය අවදානම් සහගත ගමනකි.

(කුසල් පෙරේරා -kusalperera.blogspot.com 2020 මාර්තු 22 වන දින)

"පාර්ලිමේන්තුවක් නැතිවීම අභාග්‍යයක්" -කෞශල්‍යා හේරත්


දැනට එඩින්බරා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින කෞශල්‍යා හේරත් බීබීසී සිංහල සේවයට පවසා තිබුනේ, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලංකාවට අවශ්‍ය නැතැයි යන මතය "සියුම් ලෙස නමුත් තිරසර ලෙස කාවැදෙමින් තිබීම" භයානක තත්ත්වයක් බවය.

"ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තියෙන වටිනාකම අපිට කෙටිකාලීනව කියන්න අමාරුයි," බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් ඇය කියා සිටියාය.

"හදිසි අවස්ථාවකදී ඒකාධිපති චීනය වගේම ප්‍රජාතන්ත්‍රවාදී ඉතාලියත් එක ලෙස බැටකමින් ඉන්නවා අපිට පේනවා. චීනය යම් දුරකට තත්ත්වය ඒකාධිපතිත්වය පාවිච්චි කරලා සමනය කරගත්ත නිසා ඒක සාර්ථක මොඩලයක් කියන්න බෑ. උදාහරණයක් විදියට චීනයේ පවතින ඒකාධිපති ක්‍රමයම තමයි මුලින්ම වෛරස ගැන අනතුරු අඟවපු වෛද්‍යවරයා නිහඬ කරලා මෙහි ව්‍යාප්තිය වැඩිවෙන තැනට කටයුතු කළේ. ඒ විතරක් නෙමෙයි ඒ ගැන චීනයේ සමාජමාධ්‍ය වල කතිකාවතක් ඇති වීම පවා පාලනය කෙරුණා."

"ලංකාවෙ ඉතා ම දක්ෂ විනය ගරුක හමුදාවක් ඉන්නවා'' 

ඕනෑම රටක හදිසි තත්ත්වයකදී එය පාලනය සඳහා හමුදාව සහ පොලිසිය යොදාගැනීම සාමාන්‍ය තත්ත්වයක් බව පෙන්වාදෙන කෞශල්‍යා හේරත්, "ලංකාවෙ ඉතා ම දක්ෂ විනය ගරුක හමුදාවක් ඉන්නවා සහ ඒක ලංකාවට හදිසි ආපදාවලට මුහුණ දීමට ශක්තියක්. ගිය වසරේ ත්‍රස්තවාදී ප්‍රහාරය වළක්වාගන්නට රජය අසමත් වුනත් ඉන් පස්සේ හමුදාව නිසිලෙස තත්ත්වය කළමනාකරණය කළා. එක විදියකට මේ වසරේ වෙන්නෙත් ඒ හා සමානකම් තියෙන දෙයක්. 

වෛරසය රටට ඇතුළුවීම රජයට වළක්වාගන්න බැරි වුනත් ඉන් පසු ඇඳිරිනීති තත්ත්වය ‍යටතේ හමුදාව නිසි ලෙස ඒ තත්ත්වය පාලනය කරනවා. නමුත් ආපදාවක් කළමනාකරණය කිරීමේදී සම්පූර්ණ පාලනය හමුදාව හෝ පොලීසිය අතට දීම නම් අනුමත කරන්න බෑ," යනුවෙන් ද සඳහන් කළාය.

මෙවැනි අවස්ථාවක පවා සෞඛ්‍ය සේවයේ කටයුතුවලට අමතරව අනෙකුත් කටයුතු සියල්ල හමුදාවට කිරීමට සිදුවීම රාජ්‍ය ‍යාන්ත්‍රණයේ දුර්වලකමක් බව ඇයගේ අදහසය.


''රටේ පාර්ලිමේන්තුවත් නොමැති අවස්ථාවේ චීනයෙන් රුපියල් මිලියන 500 ක ණයක් ලබාගනිමින් රජය අර්බුදයට මුහුණ දෙමට සැරසෙනවා'' -  කෞශල්‍යා හේරත්

විශේෂයෙන්ම රටේ පාර්ලිමේන්තුවත් නොමැති අවස්ථාවේ චීනයෙන් රුපියල් මිලියන 500 ක ණයක් ලබාගනිමින් රජය අර්බුදයට මුහුණ දෙමට සැරසෙන බව පෙන්වාදෙන ඇය, "අප දැනටමත් අසාමාන්‍ය ලෙස ණයකාර රටක්. දූපතක් වන රටට වෛරසය නොගෙන්වාගෙන කටයුතු කිරීමට තිබූ හැකියාවන් මඟහරවාගෙන දැන් ලෝකයට ණය වී රටේ මිනිසුන් සියලුදෙනා පීඩාවට පත්වෙන ලෙස, රටේ සියලු නිෂ්පාදන, පරිපාලන, අධ්‍යාපන සහ සමාජ කටයුතු අඬපණ කරගෙන අප මේ ව්‍යසනයට මුහුණ දෙමින් සිටිනවා," යනුවෙන් ද සඳහන් කළාය.

 ''ප්‍රජාතන්ත්‍රවාදී නොවෙන ප්‍රවාහයන් උත්කර්ෂයට නංවන්න එපා ''

Screen Shot 2020 03 31 at 1.36.11 PM
"ඇත්තටම හදිසි වසංගත තත්ත්වයකදී රටේ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුවක් සහ පරිපාලන යන්ත්‍රයක් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම අභාග්‍යයක්. මේ වෙලාවෙ ජනතාව ඉතාමත් කල්පනාකාරී විය යුතුයි ප්‍රජාතන්ත්‍රවාදී නොවෙන ප්‍රවාහයන් උත්කර්ෂයට නොනංවා රටේ දීර්ඝකාලීන සුභසිද්ධිය ගැන විවෘතව සහ බුද්ධිමත්ව දකින්න. 

හදිසි අවස්ථාවකදී, විශේෂයෙන්ම වසංගත තත්ත්වයකදී විවිධ ක්ෂේත්‍ර පාලනය කිරීම සඳහා එක් එක් ක්ෂේත්‍ර වලට අදාල විශේෂඥයින්ගේ සහය ගන්න ඕනේ. වෛද්‍යවරුන්ගේ සංගමයත් මේක පැහැදිලි කරලා තිබුණා. 

ඇඳිරි නීති තත්ත්වයක් කියන්නෙ රටේ විවිධ ක්ෂේත්‍ර වල බිද වැටීමක්, එහිදී සමාජයේ වඩාත්ම ආන්තික කොටස් වඩා වැඩි පීඩාවකට ලක්වෙනවා. මේ වෙලාවෙ නීති ක්‍රියාත්මක කිරීමට එහා ගිය සමාජ ආර්ථික කළමනාකරණයක් සහ පරිපාලනයක් අවශ්‍ය වෙනවා. ඒ සේරම හමුදාව මඟින් පමණක් කරන්න පුළුවන් නම් රටට අනෙකුත් වෘත්තිකයින් අවශ්‍ය වන්නේ නෑ."

වාසුදේවගේ විග්‍රහය මෙන්න !

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලංකාවට අවශ්‍ය නැතැයි යන මතය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරලීමට පෙර සිටම ඔහුගේ අනුගාමිකයින් විසින් ගෙන ගිය මතවාදයක් වන අතර ඒ අවස්ථාවේදී එම මතවාදයට පහරදෙමින්  වත්මන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධානියකු වන වාසුදේව නානායක්කාර මෙසේ පැවසිය.


අපායෙන්’ (Hell) එන අදහස් ද ? - මංගලට ගෝඨාභයගේ ගෝලයෙක් ගැන සැකයක් !

රට බරපතල ආපදාවකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක පාර්ලිමේන්තුවක් අනවශ්‍ය බවට ගෙනයමින් තිබෙන මතවාදය සම්බන්ධයෙන්  ප්‍රතිචාර දක්වමින් 'ට්විටර්' පණිවිඩයක් නිකුත්කර ඇති හිටපු අමාත්‍ය මංගල සමරවීර, C19 ට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තුව ඉතා කූට ලෙස යටපත් කර ඇතැයි ජනාධිපතිවරයාට චෝදනා කරයි.

එම ට්විටර් සටහනේ මෙසේ සඳහන් වේ.

''C19 ට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තුව ඉතා කූට ලෙස යටපත් කර ඇත. අගමැතිට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ට එරෙහිව පහර දෙමින් ගෙන යන වැඩපිළිවෙල ගෝඨාභයගේ රාජපක්ෂගේ සමීපතයෙකු විසින් සම්බන්ධිකරණය කර ඇත්තේ ඔහුගේ ‘අපායෙන්’ එන අදහස් මගිනි. 

අවදිවන්න! පාර්ලිමේන්තුව නැවත කැඳවීමට එකතු වෙන්න! එහි අඩුපාඩු තිබුනත් තවමත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තවමත් විශිෂ්ටතම ක්‍රමවේදයයි!''

WhatsApp Image 2020 03 31 at 11.05.02 AMජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය ?

පාර්ලිමේන්තුව යළි කැඳවන මෙන් කරන ඉල්ලීම සහ ව්‍යසනයක් අවස්ථාවේ මැතිවරණය කල් නොදැමීම සම්බන්ධයෙන් එල්ලවන විවේචන පිළිබඳව විමසීම පිණිස 'බීබීසී සිංහල සේවය' ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක ඇමතූ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් විමසා ප්‍රතිචාරය දැක්වීමට උත්සහ කරන බවය.


(උපුටා ගැනීම් - බීබීසී සිංහල සේවය)


සබැඳි පුවත් :


''ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අර්බුදයකට මුහුණ දී සිටියි'' -මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්
මනාප ගන්න 'කොරෝනා බඩු මලු බෙදීම' නීති විරෝධියි! - ''නාමයෝජනා අවලංගු කර මැතිවරණ බාධා ඉවත් කරන්න: සියලු පක්ෂවල මහජන නියෝජිතයින්ට සම අවස්ථාව දෙන්න'' -මැතිවරණ කොමිසමට බලපෑම්!!
මැතිවරණයක් ගැන කිසිදු හෝඩුවාවක් නැති සමාජයකට අතිශය අවදානම් සහගත ගමනක් ! - කුසල් පෙරේරා

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්