කොරෝනා වෛරසය මේ වන විට ප්‍රංශය තුළ පුද්ගලයන් 5,300 කට අධික ප්‍රමාණයක් ඝාතනය කර ඇතැයි ප්‍රංශ අග්‍රාමාත්‍ය ඉඩුආඩ් පිලිප් (Édouard Philippe) අනාවරණය කර සිටියි.
ඔහු මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ ඊයේ (අප්‍රෙල් 02) සවස TF1 සහ LCI යන රූපවාහිනී නාලිකා දෙකෙහි පැවැති විශේෂ විකාශනය අතරතුරය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, කොරෝනා වෛරසය මේ වන විට ප්‍රංශයේ රෝහල් පද්ධතියට දැඩි තර්ජනයක් එල්ල කොට ඇති බවය.
මෙම තර්ජනය දිගටම පවතින බැවින් ප්‍රංශ ජනතාව ඉතා අවධානයෙන්, බලමුලු ගැන්වී හා සුපරික්ෂාකාරීව සිටිය යුතු බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
අප්‍රේල් 15 න් ඔබ්බටත් නිවෙස් තුළ ම රැඳවීමේ නියෝගයක් !
අප්‍රේල් 15 න් ඔබ්බටත් නිවෙස් තුළ රැඳවීමේ නියෝගය දීර්ඝ කරන බවට අනතුරු ඇඟ වූ අග්‍රාමාත්‍යවරයා, ඉල් ද ප්‍රොන්ස් සහ ඔක්ෂිතොනි ( Ile - de - France et Occitanie) යන සී කලාප සඳහා අද (අප්‍රේල් 03) දින පාස්කු නිවාඩුව ආරම්භ වන නමුත් ඉදිරි දිනවල කිසිවෙකු තම නිවෙස් වලින් බැහැරට පිටත්වීම් නොකළ යුතු බව ද දැනුම් දී සිටියේය.
මෙම නියෝග උල්ලංඝණය කරන සියලු දෙනාටම දැඩි දඬුවම් ලැබෙනු ඇති බව පැවසූ අගමැතිවරයා, දුම්රිය ගමනාගමනය ඉතා අවම මට්ටමකට අඩු කර ඇතැයි ද සඳහන් කළේය.
පසුගිය පැය 24 ක් තුළ මියගිය ගණන 471 ක් !
ප්‍රංශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලමොන් ඊයෙ (අප්‍රේල් 02) සවස ප්‍රකාශ කළ සංඛ්‍යා ලේඛන අනුව ප්‍රංශය තුළ කොරෝනා ආසාදිතයන් 59,105 කි. රෝහල් මරණ 4,503 කි.
පසුගිය පැය 24 ක් තුළ මිය ගොස් ඇති රෝගීන් ගණන 471 කි.
26,246 ක් රෝහල් ගතව සිටින බවත්, දැඩි සත්කාර ඒකකවල රෝගීන් 6, 399 ක් සිටින බවත් පැවසූ ජෙරොම් , ඒ අවස්ථාව වන විට සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 12, 428 ක් බව ද අනාවරණය කළේය.
විශ්‍රාමික නිවාස වල ජීවත් වූ වැඩිහිටි පුද්ගලයන් :
කෙසේ වෙතත් මේ සංඛ්‍යා ලේඛන වලට අමතරව වසංගතයේ ආරම්භයේ සිටම ප්‍රංශය තුළ විශ්‍රාමික නිවාස වල ජීවත් වූ වැඩිහිටි පුද්ගලයන් අවම වශයෙන් 884 ක් මිය ගොස් ඇති බව මූලික නිල තක්සේරුවට අනුව වාර්තා වේ.
විශ්‍රාමික නිවාස වල සංඛ්‍යා ලේඛන තවමත් එකතු කරමින් පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලමොන් පවසයි.
මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී ඇති ග්‍රොන්දෙස්ත් ( Grand Est ) කලාපයෙ හි ප්‍රාදේශීය සෞඛ්‍ය ඒජන්සිය පවසන පරිදි, එපා ( Ehpad )හි පිහිටි යැපෙන වැඩිහිටි පුද්ගලයන් සඳහා වූ නවාතැන් වල මිය ගොස් ඇති පුද්ගලයන් ගණන 570 කි.
මීට අමතරව 6,400 කට ආසන්න පිරිසකට දැඩි සත්කාර අවශ්‍යව පවතින බවත් ඔහූ වැඩි දුරටත් කියා සිටියේය.
( සුනිල් ගාමිණී - ප්‍රංශයේ සිට...)
############################