ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් (Emmanuel Macron)
''ප්‍රංශයේ ව්‍යප්ත වූ කොරෝනා වසංගතය මැඩලීමට අප ගත් ක්‍රියා පටිපාටිය අසාර්ථක සහ මන්දගාමී බව ඔබ මෙන්ම මම ද දුටුවා. නමුත් පසු ගිය සති කිහිපය තුළ සැබෑ සාර්ථකත්වයක් සලකුණු කර තිබෙනවා. ප්‍රංශ ජාතිකයන්ගේ මේ උත්සාහයට මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා." යයි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් (Emmanuel Macron) ඊයේ (අප්‍රේල් 13 ) රාත්‍රී ජාතිය අමතමින් සිදුකළ ප්‍රකාශය අතරතුර දී පැවසිය.
කොරෝනා වසංගතය ආරම්භවීමෙන් පසු ප්‍රංශ ජනාධිපතිවරයා ඊයේ ජාතිය ඇමතුවේ සිව් වැනි වතාවට ය.
France to remain in strict lockdown for another month
ප්‍රංශය තුළ කොරෝනා වසංගතය ඉතා ඉහළ අවධියකට ළඟා වී ඇති බැව් පැවසූ ජනාධිපතිවරයා, ඒ තත්ත්වය මත ජනතාව නිවෙස් තුළ රඳවා තැබීමේ කාලසීමාව ලබන මැයි 11 වැනිදා තෙක් දීර්ඝ කරන බවට නිවේදනය කළේය.
ප්‍රංශයේ ළමා සුරැකුම් මධ්‍යස්ථාන සහ පාසල් නැවත විවෘත කිරිම ද මැයි 11 වැනිදා සිදු කරන බවත්, සියලුම රෝගීන් සඳහා ක්‍රමානුකූල පරීක්ෂණ සහ සාමාන්‍ය ජනතාව සඳහා මුඛ ආවරණ ලබාදීම එදින සිට සිදුකරණ බවත් ඔහු තව දුරටත් ප්‍රකාශ කළේය.
" අපි හැමෝටම මේ මොහොතේ අපේ දෙමව්පියන් ගැන බියක් හා වේදනාවක් දැනෙනවා. '' යයි පවසද්දී ජනාධිපතිවරයා හැඟීම්බර විය.
රෝහල් වෙත පැමිණි සියලු දෙනාටම ප්‍රතිකාර ලබා දීමට රෝහල් සමත් වී ඇති බවත්, රෝහල්වල මෙන්ම අනෙකුත් ස්ථානවල රෝගීන් රැකබලා ගන්නවුන් ගෞරවණීය සේවයක් ඉටු කළ බවත්, මේ හේතුව නිසා වසංගතය මන්දගාමී වූ බවත් පැවසූ ජනාධිපති මැක්‍රොන් මෙම කැපවීම වෙනුවෙන් තමන් ඔවුනට බොහෝ සෙයින් ස්තූතිවන්ත වන බවත් කියා සිටියේය.
" අපි මේ අර්බුදයට සූදානම් ද? නිසැකවම නැත" යනුවෙන් පැවසූ ජනාධිපතිවරයා, නමුත් අප ඊට මුහුණ දී ඇතැයි කියා සිටියේය.
මෙම වෛරසය පිළිබඳ බොහෝ දේ තවමත් නොදන්නා බවත්, මෙම වෛරසය බොහෝ අභිරහස් රැගෙන එමින් සිටිනබ බවත් ජනාධිපතිවරයා තව දුරටත් පැවසීය.
ලෝකයේ සියලු රටවලට මෙන්ම අපට ද අත්වැසුම්, අත් පිරිසිදු කරන ජෙල් , රෝගීන් රැක්බලා ගන්නවුන් සඳහා අවශ්‍ය ප්‍රමාණයට මුහුණු ආවරණ බෙදා හරින්නට නොහැකි වූ බවට කණගාටුව ප්‍රකාශ කළ මැක්‍රොන්, මේ වන විට මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීම පස් ගුණයකින් වැඩිකර තිබෙන බවද පැවසුවා.
" නමුත් අපිට මේ වසංගතයට සාර්ථකව මුහුණ දීමට හැකි වෙන බවට විශ්වාසයි. අපි තවත් උපකරණ බෙදා හැරීම දිගටම කර ගෙන යනවා." යැයි ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, කිසිවෙකුත් නොසිතූ පරිදි බලාපොරොත්තු නැවත ඉපදී තිබෙන බව ද කියා සිටියේය.
ග්‍රොන්දෙස් ( Grand- Est ) සහ ඉල් ද ෆ්‍රොන්ස් (Ile - de - France ) යන කලාප වල රෝහල් පිරී අවසන් බවත්, අනෙකුත් කලාප වල රෝහල් ආතතියට පත්වී ඇති බවත් ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, ඒ නිසාම නීති රීති නිසි පරිදි අනුගමනය කළ යුතු බවත්, ඒකී උත්සාහය දිගටම පවත්වා ගත යුතු බැවින් නිවෙස් තුළ රඳවා තැබීමේ නියෝගය මැයි 11 වැනිදා දක්වා දීර්ඝ කිරීමට සිදු වූ බවත් කියා සිටියේය.
අදාල නීති රීති වලට අවනත වීමෙන් වෛරසය පැතිරීමේ වේගය මන්දගාමී වුවහොත්, මැයි 11 වැනිදායින් පසු නිවෙස් වල රඳවා තැබීමේ නියෝගය අවසන් කළ හැකි බව පැවසූ ජනාධිපතිවරයා, එසේ නො වුවහොත් එම නියෝගය දිගින් දිගටම පවත්වාගෙන යෑමට සිදු වනු ඇති බව අනතුරු ඇඟවීමක් ද සිදු කළේය..
පලාත් පාළන ආයතනවල ප්‍රධානීන්ගෙන් හා නිළධාරීන්ගෙන් ඉල්ලීමක් කළ ජනධිපතිවරයා, අදාල නීති රීති සියලුම පලාත්වල එක හා සමානව ක්‍රියාවට යොදවන ලෙසට දන්වා සිටියේය.
තව දුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා, ප්‍රංශය තුළ පිහිටි පොදු අවන්හල්, කැෆේ, බාර්, සිනමා ශාලා, කෞතුකාගාර, මෙන්ම උත්සව ශාලා අවම වශයෙන් ජුලී මැද වන තුරු විවෘත කිරීමට නොහැකි බව කියා සිටියේය.
අර්ධ රැකියා නියුක්තිකයන් සහ ව්‍යාපාර සඳහා අධාර පද්ධතිය ශක්තිමත් කර නඩත්තු කරන බව පැවසූ මැක්‍රොන් , අඩු ආදායම්ලාභී පවුල් සඳහා සුවිශේෂී උපකාර ලබා දෙන බව ද කියා සිටියේය.
සංචාරක, හෝටල්, අවන්හල්, සංස්කෘතික කටයුතු සංවිධානය කිරීම් යන ක්ෂේත්‍ර පිළිබඳව නිශ්චිත නව සැලසුමක් සකස් කරන බව ද ඒ සඳහා පිහිටුවන නව සංවිධානය මැයි 11 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා පැවසුවේය.
යුරෝපීය නොවන රටවලට සම්බන්ධ දේශසීමා නැවත දැනුම් දෙන තුරු තව දුරටත් වසා තබන බව ද ඔහු පැවසිය.
කොරෝනා වෛරසය මැඩලීමට හැකි ප්‍රතිකාරයක් සොයා ගැනීම සඳහා සිදු කරනු ලබන සියලු විකල්ප ගවේෂණ තව දුරටත් සිදු කරන බව පැවසූ ජනාධිපතිවරයා, මේ වන විට සායනික අත් හදා බැලීම් විශාල ප්‍රමාණයක් සිදු කොට ඇති බව ද කියා සිටියේය.
ජනාධිපති එම්මානුඑල් මැක්‍රොන් ජාතිය ඇමතීමේ සිය කතව අවසන් කරමින්, "අපට වඩාත් හොඳ දවස් හා වඩාත් ප්‍රීතිමත් දවස් හමු වෙනු ඇති බවට මට විශ්වාසයි. " යනුවෙන් ප්‍රකාශ කළේය.
පසුගිය පැය 24 තුළ මිය ගිය කොරෝනා ආසාදිතයන් ගණන 574 ක්:
ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට විනාඩි කිහිපයකට පෙර ප්‍රංශ මහජන සෞඛ්‍ය ආයතනය විසින් ජන ජනමාධ්‍යයට නිකුත් කරන ලද නිවේදනයක් මගින් , ප්‍රංශයේ කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ නවතම සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරනු ලැබිය.
එම සංඛ්‍යාලේඛන වලට අනුව,
# අප්‍රේල් 13 වැනිදායින් අවසන් වූ පැය 24 තුළ මිය ගිය කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 574 කි.
# ප්‍රංශය තුළ මේ වන විට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,36,779 ක් වන අතර, මියගොස් ඇති සමස්ත පුද්ගලයන් ප්‍රමාණය 14,976 ක් වේ.
# රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 32,113 ක් වන විට දැඩි සත්කාර ඒකක වල රෝගීන් 6,821 සිටිති.
# අදාල මාධ්‍ය නිවේදනයට අනුව සුව වී රෝහල් වලින් මේ වන විට පිටවී ගොස් ඇති පුද්ගලයන් ගණන 27,718 කි.
( සුනිල් ගාමිණී ප්‍රංශයේ සිට )






