(ජාතික විද්වත් සංවිධානයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු වසංගත රෝග විද්‍යාඥ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ සමග
"රාවය' පුවත්පත විසින් කල සාකච්ඡාවක් ඇසුරෙනි. )
රාවය :
මේ වන විට ලංකාව තුළ කොවිඞ්-19 පැතිරීම තිබෙන්නේ නිවෙස් ආශ්‍රිත රෝග සමූහයන් වාර්තා වන IIIa මට්ටමේ බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ අදහසයි. රෝග ව්‍යාප්තිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හමුවේ වුව ද එය ඊළඟ අදියර වන IIIb තත්ත්වය හෙවත් ගම හෝ නගරය තුළ කුඩා රෝගී කණ්ඩායම් සමූහ වශයෙන් වාර්තාවීමේ මට්ටම දක්වා යාමේ ප්‍රවණතාවක් තිබේද?
නිහාල් අබේසිංහ:
දැනට වාර්තා වෙන්නේ වරින් වර රෝගීන් හඳුනා ගැනීමක්. තැනින් තැනින් රෝගීන් හඳුනා ගන්නේ රට තුළට ආ රෝගීන් එක්ක සම්බන්ධ වූ අයගෙනුයි. ඒ මතුවන අයත් හමුවන්නේ වෛරසය ශරීර ගතවෙලා දවස් ගණනකට පසුවයි. එතකොට ඒ අයගෙන් වෛරසය ශරීරගත වූ තවත් අය හමුවන්නේ තවත් දවස් ගණනක් ගත වුණාට පස්සෙයි. හැබැයි ඒක විශාල සංඛ්‍යාවක් වෙන්න බැහැ.
සමකය ආසන්න රටවල මේක ඒ තරම් වේගයෙන් ව්‍යාප්ත වෙන්නේ නැහැ. අපේ රටේ උෂ්ණත්වය, සාපේක්ෂ ආර්ද්‍රතාව එක්ක මේක ඉතා ඉක්මනින් පැතිරයාමේ තත්ත්වය අඩුයි. ඒ නිසා අපට ඉදිරි කාලසීමාව තුළ දකින්න පුළුවන් වෙන්නේ හෙමින් ව්‍යාප්ත වීමක්. කිසියම් ප්‍රමාණයකට එහෙම ව්‍යාප්ත වෙලා ඒක අඩුවෙලා යන කිසියම් තැනක් ඒවි. ඒක හරියටම අපට දැන්ම නිශ්චය කරන්න බැහැ.
''සමකය ආසන්න රටවල මේක ඒ තරම් වේගයෙන් ව්‍යාප්ත වෙන්නේ නැහැ. අපේ රටේ උෂ්ණත්වය, සාපේක්ෂ ආර්ද්‍රතාව එක්ක මේක ඉතා ඉක්මනින් පැතිරයාමේ තත්ත්වය අඩුයි. ඒ නිසා අපට ඉදිරි කාලසීමාව තුළ දකින්න පුළුවන් වෙන්නේ හෙමින් ව්‍යාප්ත වීමක්. කිසියම් ප්‍රමාණයකට එහෙම ව්‍යාප්ත වෙලා ඒක අඩුවෙලා යන කිසියම් තැනක් ඒවි. ඒක හරියටම අපට දැන්ම නිශ්චය කරන්න බැහැ. ''
මොකද එක් අයෙකුට සම්බන්ධ වූ කණ්ඩායම හරියටම නිර්ණය කරන්න අමාරුයි. ඒ අය සම්බන්ධ වූ අනෙක් අයට රෝග ලක්ෂණ දැනට නැති වෙන්න පුළුවන් වුණත් ඒ මුළු කණ්ඩායම ම නිරෝධායනය වෙලා නැත්නම් ආයේ කොහෙන් හරි එක්කෙනෙක් දෙන්නෙක් මතුවෙන්න පුළුවන්කම තියනවා. ඉදිරි කාල සීමාවේ රෝගීන් වාර්තා වෙන්න ඉඩ තියෙන්නේ ඊට සාපේක්ෂවයි. සැරින් සැරේට ටික දෙනෙක් චේන් එකක් වගේ ලංකාව තුළ රෝගීන් ලෙස වාර්තා වේවි.
රාවය :
වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත අනුව මේ වන විට රෝගීන් සමග සමීපව ගැටුණු ප්‍රථම මට්ටමේ ස්පර්ශකයන් 3000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව රෝගීන් සමග ස්පර්ශ වූ ප්‍රථම, දෙවන හා තෙවන මට්ටමේ සමස්ත ස්පර්ශකයන් 23,000කට ආසන්න බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද අප්‍රේල් 05 තත්ත්ව වාර්තාවේ සඳහන් වුණා. මේ තත්ත්වය දකින්නේ කොහොමද?
නිහාල් අබේසිංහ:
පරීක්ෂණ වැඩි කරන්න ඕනෑ. විශේෂයෙන් රෝගීන් ලෙස හඳුනා ගත් අයගේ ආශ්‍රිතයන් පරීක්ෂා කිරීම සුදුසුයි. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ආශ්‍රිතයන් පිළිබඳව භාවිත කරන අර්ථදැක්වීම ආරක්ෂක අංශ ආශ්‍රිතයන් ලෙස පිළිබඳ භාවිත කරන අර්ථදැක්වීමත් එකමද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒ අනුව මේ ගණනයන් වෙනස් වෙන්න පුළුවන්.
කොහොම වුණත් එහෙම හඳුනා ගන්නා ආශ්‍රිතයන් නිරෝධායනය කරනවා හැරෙන්න වෙනත් විකල්පයක් නැහැ. ඒ අය නිරෝධානය කිරීම මගින් තමයි ඒ අයට රෝගය වැළදිලා තියනවා ද කියලා හඳුනාගන්න පුළුවන් වෙන්නේ. ඊට පසුව දැනට නිරෝධායනය කරන අයට අමතරව ඒ අයට තවත් ආශ්‍රිතයන් තිබුණා ද කියන එක සම්බන්ධව ඒ වැළදුණ කෙනා සමග තවත් දීර්ඝ සාකච්ඡාවක් තියෙන්න ඕනෑ. ඒක ටිකක් සංකීර්ණ කාර්යයක්.
කොහොමත් තව ටික කාලයක් යනතුරු මේ ක්‍රමය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටත් අනෙක් අයටත් අනුගමනය කරන්න සිදුවේවි.
ලොක් ඩවුන් කිරීමේ අරමුණ ඒ අය සියලු දෙනා පරීක්ෂණයට භාජනය කිරීම වෙන්න ඇති ....
රාවය :
ඇතැම් ප්‍රදේශ මේ වන විට ලොක් ඩවුන් කර තිබෙනවා. එය අපේ රට තුළ පවතින රෝග ව්‍යාප්ත වීමේ තත්ත්වය සමග විද්‍යාත්මක ලෙස සම්බන්ධ වෙන්නේ කොහොමද?
නිහාල් අබේසිංහ:
ලොක් ඩවුන් කිරීමේ අරමුණ ඒ අය සියලු දෙනා පරීක්ෂණයට භාජනය කිරීම වෙන්න ඇති කියලා මම හිතනවා. මොකද එහෙම නැතිව ඒ අයව රදවාගෙන සිටීමෙන් එතරම් ලොකු දෙයක් වෙන්නේ නැහැ, හරියටම හඳුනා ගන්න ක්‍රමයක් හදාගන්න වෙනවා. පරීක්ෂණ පුළුල් වෙන්නත් ඕනෑ ඒ ක්‍රමයටයි.
ඒ කියන්නේ සැක කරනවා නම් ඒ අය පරීක්ෂණයට ලක් කරන්න ඕනෑ. මම හිතන්නේ ඒ අර්ථයෙන් තමයි ලොක්ඩවුන් වෙන්න ඕනෑ. ඒවා කොහොම ද කෙරෙන්නේ කියන එක ගැන අපට නිශ්චිත තොරතුරු නෑ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම වෙන්න ඇත්තේ ඒක තමයි කියලා අපි හිතනවා.
රාවය :
පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම අයෙක් දින 14ක් නිරෝධායනය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බව නියොජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළ බව වාර්තා වී තිබුණා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?
නිහාල් අබේසිංහ:
පොලිස් ඇඳිරි නීතිය පවත්වාගෙන යන විට ලබාදිය හැකි දඬුවම්වල සීමාවක් හා නිර්වචනයක් ඇති. මම ඒ ගැන දන්නේ නැහැ. නමුත් නිරෝධායනය දඬුවමක් ලෙස ලබාදීම අනුමත කරන්න බැහැ. කෙනෙක් පාරට බැහැලා ඇඳිරි නීතිය කඩ කරනවා කියලා අපි හිතමු. එතකොට ඒ කෙනාට දවස් දාහතරක් නිරෝධායනය වෙන්න යැවීමෙන් ඒක එතකොට දඬුවමක් බවට පත් වෙනවා.
පොලිස් ඇඳිරි නීතිය කඩන අය අත්අඩංගුවට ගෙන් නිරෝධායන කඳවුරු වෙත් යොමු කිරීම දඬුවමක් ලෙස ලබාදීම අනුමත කරන්න බැහැ. කෙනෙක් පාරට බැහැලා ඇඳිරි නීතිය කඩ කරනවා කියලා අපි හිතමු. එතකොට ඒ කෙනාට දවස් දාහතරක් නිරෝධායනය වෙන්න යැවීමෙන් ඒක එතකොට දඬුවමක් බවට පත් වෙනවා.
කවුරුහරි කෙනෙකුට අහම්බෙන් හෝ රෝග ලක්ෂණ පහළවෙලා ඒ පුද්ගලයා හිතනවා නම් තමන්ට රෝග ලක්ෂණ තියනවා එනිසා නිරෝධායනය වෙන්න ඕනෑ කියලා ඒක ඒ පුද්ගලයාගේ ස්වයං තීරණයක්. එහෙම නැත්නම් ගෙදර අය රෝග ලක්ෂණ හඳුනාගෙන එයාට යෝජනා කිරීමක් වෙන්නත් පුළුවන්.
හැබැයි නිරෝධායනය අර විධියට දඬුවමක් ලෙසත් භාවිත කළොත් මේ විධියට ස්වයංව නිරෝධායනයට යොමුවන අයටත් ඒක ප්‍රශ්නයක්. මොකද කොටසකට ඒක දඬුවමක් විධියට දෙනවා, කොටසක් ස්වයංව ඉදිරිපත් වෙනවා. ඒක දඬුවමක් හැටියට සුදුසු නැහැ කියලා මම කියන්නේ ඒ අර්ථයෙනුයි.
කොහොම වුණත් නියෝජ්‍ය පොලිස්පතිතුමාත් ඒ ගැන පසුව කතා කළේ නැහැ, ඒක දඬුවමක් ලෙස පාවිච්චි කරන්න සුදුසු නැති බව ඒ අයටත් වැටහෙන්න ඇති.
රාවය :
රට තුළ පවත්වාගෙන යන දුරස්ථකරණය ඉදිරියේ දී ලිහිල් කිරීමක් සිදුකරනවා නම් එය සිදුකළ යුතු විද්‍යාත්මක පදනම මොකක්ද?
නිහාල් අබේසිංහ:
මේක ගෝලීය වසංගතයක්. අනෙක් රටවල ව්‍යාප්තිය අපි ගන්නා ක්‍රියාමාර්ගවලට අනිවාර්යයෙන් බලපානවා. අපේ රටේ ක්‍රමයෙන් මේ තත්ත්වය අඩුවෙලා ගියත් අනෙක් රටවල මේක තිබෙන නිසා අපිට අභියෝගයක් එනවා. අපේ ගුවන් තොටුපොළ වැනි රටට ඇතුල්විය හැකි ප්‍රධාන ස්ථාන විවෘත කරන්නේ කොහොමද කියන අභියෝගය එනවා. ඊට සාපේක්ෂව යම්කිසි විධියක සීමාවන් සහිතව හෝ ඒවා විවෘත කරනවා නම් රට තුළ දැන් ගන්නා ක්‍රියාමාර්ග ඉදිරියටත් ගත යුතු වෙනවා.
විශේෂයෙන් අපි නොදන්නා තැනකට හෝ එළියට යන විට මාස්ක් පාවිච්චි කිරීම, නිතර දෑත් සබන් ගා සේදීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම කියන පියවර තුන අපට මේ ගෝලීය වසංගත තත්ත්වය පවතින තුරු තව සෑහෙන කාලයක් පවත්වාගෙන යන්න සිදුවෙනවා.
දැන් තිබෙන ලොක් ඩවුන් සහ ඇඳිරි නීති තත්ත්වයෙන් අපි කොහොමද එළියට එන්නේ කියන දේ ගැන නිශ්චිත විධික්‍රමයක් තියෙන්න ඕනෑ. ඒක ඒ විෂය පිළිබඳ දැනුම තිබෙන ඊට අදාළ හැම පාර්ශ්වයක්ම එකතුව කරන සාකච්ඡාවකින් යෝජනා කළ යුතු දෙයක්. ඒක ඉදිරියේ දී ඒ විධියට යෝජනා වෙයි කියලා මම හිතනවා. ඒවා සම්බන්ධනේ මත පළ කිරීමේ අවස්ථාව ලැබුණොත් අපි මත පළ කරනවා. වෙනස් තත්ත්වයක් ඇති වුවොත් අපි මාධ්‍ය සමග හෝ සාකච්ඡා කරනවා. එහෙම තත්ත්වයක් තමයි ඉස්සරහට එන්නේ.
රාවය :
කෙසේ වෙතත් පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කරන දිනය සම්බන්ධයෙන් මේ වන විටත් රජය නිවේදන නිකුත් කර තිබෙනවා නේද?
නිහාල් අබේසිංහ:
කොහොම නමුත් පාසල් පටන් ගන්නේ කවද්ද, විශ්වවිද්‍යාල පටන්ගන්නේ කවද්ද ආදී වශයෙන් කාටවත් දින වකවානු කියන්න බැහැ. මේ තිබෙන ප්‍රශ්නයේ තත්ත්වයත් එක්ක ඒවා දැන් කියන්න යනවා නම් ඒක ගැළපෙන්නේ නැහැ.
''කොහොම නමුත් පාසල් පටන් ගන්නේ කවද්ද, විශ්වවිද්‍යාල පටන්ගන්නේ කවද්ද ආදී වශයෙන් කාටවත් දින වකවානු කියන්න බැහැ. මේ තිබෙන ප්‍රශ්නයේ තත්ත්වයත් එක්ක ඒවා දැන් කියන්න යනවා නම් ඒක ගැළපෙන්නේ නැහැ. ''
පළමුවෙන් රෝග ව්‍යාප්තිය සිදුවෙන්නේ කොහොමද කියන දේ මේක ක්‍රමයෙන් ලිහිල් කිරීමෙන් බලන්න ඕනෑ. ඉදිරියේ දී දින වකවානු කියන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව යි. එහෙම නැතිව පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඉක්මනින් කවුරුත් එකඟ වෙයි කියලා නම් මම හිතන්නේ නැහැ.
විශේෂයෙන් දරුවන්ට මේ මොකක්ද වෙන්නේ කියන දේ ගැන එතරම් හැඟීමක් නැහැ. ඒ නිසා ඒවා හොඳට හිතලා බලලා ගන්න ඕනෑ තීරණයි. දින වකවානු යෝජනා කිරීමට වඩා යෝග්‍ය වෙන්නේ පරීක්ෂණ ක්‍රම කීපයක් හඳුනාගෙන ඒ පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඇඳිරි නීතිය වැනි ක්‍රියාමාර්ග ක්‍රමයෙන් ලිහිල් කරන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡාවක් කර ඒ අනුව තීරණ ගැනීම යි.
දිනවකවානු පැවසීම නම් විද්‍යාත්මක සාකච්ඡාවක් මත පදනම් වූ බව පේන්නේ නැහැ. නමුත් විද්‍යාත්මක පදනමක් සහිත සාකච්ඡා ගණනාවක් රටේ සිදුවෙනවා. ඒවාට අවශ්‍ය දත්ත හරියාකාරව ලැබුණොත් ඒ සාකච්ඡාවලින් රටට ප්‍රතිඵල ලබා දෙන්න පහසු වේවි.
(සාකච්ඡාව- ඉඳුනිල් උස්ගොඩ ආරච්චි)
- උපුටා ගැනීම ravaya.lk - April 21, 2020






