රජයේ කොරෝනා මර්ධන වැඩපිළිවෙල මුළුමනින්ම අසාර්ථක බවත්, මේවනවිට රටත් ජනතාවත් බරපතල අනතුරකට මුහුණ දී සිටින බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසයි.
ඔහු එබව සඳහන් කලේ අද (27) පැවති මාධ්‍ය හමුවකදීය.
කොරෝන වෛරසය ලංකාවට ඇතුල්වීමට ඇති භයානක තත්ත්වය පෙන්වා දෙමින්, එම තත්ත්වය වලක්වා ගැනීමට විපක්ෂය විසින් දිගින් දිගටම ජනාධිපතිවරයා හා ආණ්ඩුව දැනුවත් කලද ඒගැන මුළුමනින්ම නොතකා, හදිසි මැතිවරණයක් වෙනුවෙන් රටත් ජනතාවත් බිල්ලට දී ඇති බව එරාන් වික්‍රමරත්න එහිදී කියා සිටියේය.
අද තත්ත්වය :
තවත් කොරෝනා ආසාධිත රෝගීන් 10 දෙනෙකු අද දිනයේදී සොයා ගැනීමත් සමග පස්වරු 4.00 වන විට මෙරටින් වාර්තා වන මුළු ආසාධිතයින් සංඛ්‍යාව 567ක් දක්වා ඉහල ගොස් ඇත. අද දිනයේදී සොයා ගත් කොරෝනා ආසාධිතයින් 44 දෙනා නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේය.
යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් 180 දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවයි.
මේ දක්වා නුවරඑළිය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් සහ අම්පාර යන සෞඛ්‍ය දිස්ත්‍රික්කයන් ගෙන් කොරෝනා ආසාධිතයින් වාර්තා වී නොමැත.
කොරෝනා වසංගත තත්ත්වය මෙසේ අතිශයින් බරපතල ලෙස ව්‍යාප්තවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ බාරකාර ආණ්ඩුවට දැඩි චෝදනාවක් එල්ල කරමින් අදහස් දැක්වූ එරාන් වික්‍රමරත්න මෙසේද සඳහන් කළේය.
''කොරෝනා ආසාදිතයන් ලංකාවට ඇතුල්වෙන බව දැනගන්න එයාර්පෝට් එකේ මැෂින් හයිකරන්න කියලා කිව්වහම ඒ මොකටද කියලා ඇහුවේ ආණ්ඩුවේ දිනේෂ් ගුණවර්ධනලා, මුල් අවස්ථාවෙම පැමිණෙන අය නිරෝධායනය කරන්න මධ්‍යස්ථානයක් හදන්න කියලා කිව්වහම උද්ඝෝෂණය කරන්නද කියලා ඇහුවේ ආණ්ඩුවේ ඇමතිවරු.
# ඉන්දියාවෙන් ආව අය නිරෝධායනය නොකර රට තුළට යැවුවේ ජනතාවද ආණ්ඩුව ද?
# සෞඛ්‍ය අංශය රෝගීන් 28 ක්ව තිබියදී රට වහන්න කිව්වම පිස්සුද කියලා ඇහුවේ ජනතාවද ආණ්ඩුවද?
# ඇමති පුත්තු ලංකාවට ගේන්න ගුවන්තොටුපොළ ඇරල තිබ්බේ ජනතාවද? ආණ්ඩුවද?
# අප්‍රේල් 19 කොරෝනාව ඉවරවෙනවා කිව්වේ ජනතාවද? ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරියද?
# බොරුවෙන් ජනතාවගේ මනස හැදුවේ ආණ්ඩුවද ජනතාවද?
# ඒ වගේම සෞඛ්‍ය අංශය අදිමදි කරද්දී මහමැතිවරණය නිසා අප්‍රේල් 20 ට රට විවෘත කරනවා කිව්වේ ආණ්ඩුවද ජනතාවද?
දැන් මේ සියල්ලටම වැරදි ජනතාව කියන මතය තමයි ප්‍රචාරය කරන්නේ. හරි ගියහම ආණ්ඩුව වැරදුනහම ජනතාව. අපිට වසන්ගතයක් තියෙනවා ඒ වසන්ගතය නැති කරන්න පුළුවන් වෙන්නේ එහි සත්‍යතාවය දැනගත්තොත් පමණයි.
''ලොක් ඩවුන්' ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි''
චීනයේ වූහාන් නගරයෙන් තමයි මේක ආරම්භ වුණේ. චීනයේ විශේෂඥ වෛද්‍යවරයෙක් තමයි මේ වෛරසය පළමුවෙන්ම සොයාගත්තේ. චීනය මොනවද කිව්වේ ඔහු කටකතා පතුරවනවා කිව්වා. චීනය ඒකාධිපති රජයක් වෙන්න පුළුවන්. ඒත් ලංකාව ඒකාධිපති රාජ්‍යක් නෙවෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී රජයක්. සඟවලා බොරු මත හදලා කිසි දෙයක් කරන්නට බැහැ.
රජයේ මේ ලොක් ඩවුන් කිරීමේ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. මේකට හේතුව හරියට පරීක්ෂණ කරේ නැහැ. පරීක්ෂණ මේ තරමින්වත් වැඩි කරේ වෛද්‍ය සංගම් සහ අනෙකුත් අයගේ බලපෑමෙන් පීඩනයක් යොදවලයි. විශේෂඥයෝ සඳහන් කරන්නේ දවසකට අඩුමගානේ පරික්ෂණ 5000 ක් 6000 ක් අතර ප්‍රමාණයක් කරන්න ඕනේ කියලා. මේක කරන්න පුළුවන්. මේවට මුදල් තියෙනවා මුදල් නැතිව නෙවෙයි.
දිලුම් අමුණුගමලා කියන කතා :
ඒ වගේම පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීතුමා දිලුම් අමුණුගම කියනවා සතොස පෝලිමේ ඉන්නවනම් ඇයි බැරි ඡන්ද පෝලිමේ ඉන්න කියලා. දැන් අපිට හොඳටම පැහැදිළියි මේ රජය ප්‍රමුඛත්වය දෙන්නේ මොනවටද කියලා.
මේ වගේ වෙලාවක බොරු කිය කිය මැතිවරණයකට යන එක නෙවෙයි කරන්න ඕනේ මිනිස්සුන්ගේ ජීවිත බේරාගන්න එකයි. රජය මේ වෙලාවේ යොමු වෙන්න ඕනේ වෛද්‍ය පහසුකම් ලබා දෙන්න. පොලිසිය, හමුදාව, වෛද්‍යවරුන්, හෙදි සේවයේ ඉන්න අය, සෞඛ්‍ය සේවයේ ඉන්න අය නිසා තමයි අපි ජීවත් වෙන්නේ.
මොකද මේ සටනේ ප්‍රමුඛස්ථානය අරගෙන වැඩ කටයුතු කරන්නේ ඒ අය. නමුත් අද වෙනකොට ඒ අයගේ සෞඛ්‍ය ආරක්ෂාවටත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකක්ද රජයට කරන්න තිබුණේ ඒ සියලු ක්ෂේත්‍රවල අයට අවශ්‍ය පහසුකම් සහ උකරණ ලබා දෙන්න. ඒකට මුල්තැන දුන්නේ නැහැ මේ රජය. දැන් වුණත් එක කරන්න පුළුවන්.
අපිට ICU ඇඳන් තියෙන්නේ 500 යි! - වහාම දෙගුණ කල යුතුයි
අපි තව මීට එහා යන්න ඕනේ. දැනට ලංකාවේ රෝහල් හයසිය ගාණක් තියනවා. එයින් අපිට ICU ඇඳන් තියෙන්නේ 500 යි. මේ ප්‍රමාණය දෙගුණයක් කරන්න දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ. රජය මේව බල බල ඉඳලා වැඩක් නැහැ. කරන්නයි ඕනේ.
මේව කියන්නේ විශේෂඥයෝ, ඒ විශේෂඥයෝ කියන දේවල් තමයි අපි දේශපාලඥයෝ හැටියට ප්‍රසිද්ධියේ ඇවිල්ල මෙහෙම කතා කරන්නේ දැන් පාර්ලිමේන්තුවක් නැති නිසා තමයි අපිට මේ දේවල් මාධ්‍යය හරහා කියන්න සිද්ධ වෙලා තියෙන්නේ.
පාර්ලිමේන්තුව තිබුණා නම් අපිට පුළුවන් තර්ක විතර්ක කරලා මේ දේවල් ඉදිරිපත් කරන්න. දැන්ම ගොඩනැගිලි අරගෙන අසාධ්‍ය ලෙඩ්ඩුන්ට ICU ඒකක වැඩි කළ යුතුයි. රජය දැන්ම මේ සඳහා අවතීර්ණ වෙලා මුදල් වෙන් කරන්න ඕනේ. අපි විපක්ෂය හැටියට රජයට සම්පූර්ණ සහයෝගය දෙන්න ලැහැස්තියි.''






