ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද, ගුවන් හා නාවික හමුදාපතිවරුන්ගේ සේවා දිගු දෙසැම්බර් 31 වැනිදා අවසන් වීමට නියමිත අතර
ඔවුන්ට තවදුරටත් සේවා දිගු ලබාදෙන්නේද නැතහොත් එම තනතුරු වලට වෙනත් අය පත් කරන්නේද යන්න පිළිබඳ තීරණයන් ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා මෙතෙක් එම ධුර දරන්නන්ට දැනුම් දී නැතැයි වාර්තාවේ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඔහු යුද හමුදාපති ධුරයේ සිටියදීම 2020 වසරේදී එම තනතුරට පත්කරනු ලැබූ අතර 1964 ජුනි 22 උපන් ඔහුගේ වයස මේ වනවිට අවුරුදු 60 ඉක්මවා තිබේ. ඔහු යුද හමුදාපති ධුරයට පත්වීමට පෙරද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් සේවා දිගුවක් මත යුද හමුදාවේ කටයුතු කළේය.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ සිටින්නේද සේවා දිගුවක් මත වන අතර දෙසැම්බර් 31 වැනිදාට ඔහු අවුරුදු 57 සම්පූර්ණ කරයි.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සේවා දිගුවක් මත කටයුතු කරන අතර ඔහු එම ධුරයට පත්වී තිබුණේ 2022 දෙසැම්බර් 18 වැනිදාය.
ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ සේවා දිගුවක් මත කටයුතු කරන අතර ලබන වසරේ ජනවාරි 29 වැනිදා ඔහු වයස අවුරුදු 56 සම්පූර්ණ කරයි.
විශ්‍රාම යන යුද, ගුවන් හෝ නාවික හමුදාපතිවරයකු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කිරීම මෙතෙක් පත්වාගෙන ආ ක්‍රමය වූ අතර යුද, ගුවන් හා නාවික හමුදාපතිවරුන්ට තවදුරටත් සේවා දිගු ලබා නොදි ඉන් අයකු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කරයි ද යන්නද නිශ්චිතව ජනාධිපතිවරයා දැනුම් දී නැතැයි අපගේ ආරක්ෂක අමාත්‍යාංශ මූලාශ්‍ර ප්‍රකාශ කරයි.
එමෙන්ම එම ධුරය තවදුරටත් පවත්වා ගෙන යනවාද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණය කර නැති බවද පවසයි.
යුද හමුදාපතිවරයාට තවදුරටත් සේවා දිගුවක් නොලැබුණහොත් එම ධූරය සඳහා වත්මන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර, යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු හා ගජබා දෙපාර්තමේන්තුව නියෝජනය කරන මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.
(අනිද්දා ජාතික විකල්ප පුවත්පත | ලසන්ත රුහුණගේ)






