ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන්ගේ ඉල්ලා අස්වීම් ලිපි
ලබාගනිමින්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා හරහා එය දැනුම්දීමත් සමග දින 4කට ආසන්න කාලයක් රතන මන්ත්‍රී හිමියන් පවත්වා ගෙන ගිය උපවාසය අවසන් කර තිබේ.
ඉන් අනතුරුව ප්‍රතිකාර සඳහා ගිලන් රථයකින් උන්වහන්සේ මහනුවර රෝහල වෙත රැගෙන ගියේය.
ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් ගෙන් කර තිබූ ඉල්ලීම ඔවුන් විසින් ඊයේ රාත්‍රී ප්‍රතික්ෂේප කර තිබිණ.
එහෙත් පක්ෂ බේදයක් නොසලකා ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත්වීමට මුස්ලිම් දේශපාලනඥයින් විසින් අද (03) උදැසන ගත් තීරණයකට අනුව ඔවුන් සිය ඉල්ලා අස්වීම් ලිපි ජනාධිපතිවරයාට භාර දී තිබේ.
පෙර පුවත
හිස්බුල්ලා හා අසාද් සාලි : ජනපතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් ගෙන් ඊයේ (02) රාත්‍රී කර තිබූ ඉල්ලීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර ඇතයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
ජනාධිපතිවරයා මුහුණ දී සිටින තත්වය තමන්ට තේරුම්ගත හැකි නමුත්, මේ අවස්ථාවේදී ඉල්ලා අස්වීමට තමන්ට ඇති නොහැකියාව පැහැදිලිකර ඇති ඔවුන් දෙදෙනා, අවශ්‍යනම් තමන්ව එම තනතුරුවලින් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාට පවසා ඇත.
පුජ්‍ය රතන හිමියන්ගේ උපවාසය හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලවත් අසීරුතාවයකට පත්ව සිටින හෙයින් තාවකාලිකව හෝ ආණ්ඩුකාර තනතුරු වලින් ඉවත්වන්නැයි ජනාධිපතිවරයාගේ නියෝජිතයින් කිහිප දෙනෙකුම ඊයේ දිනයේ කිහිප අවස්ථාවකදීම ඔවුන් දෙදෙනා ගෙන් ඉල්ලා ඇතත්, ඔවුන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුනේ ජනාධිපතිවරයා තමන්ගෙන් එවැනි ඉල්ලීමක් කර නොමැති බව පවසමිනි.
ආණ්ඩුකාර හිස්බුල්ලහ් මහතා ඊයේ (02) රාත්‍රී 7.00ට පමණ ජනාධිපතිවරයා හමුවී සාකච්ජා පවත්වා තිබිණ. එහිදී හෝ ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ඉදිරිපත් නොවූ බව ඔහු ජනාධිපතිගේ නියෝජිතයින්ට පවසා තිබිණ පවසයි.
ජනාධිපතිවරයා ඔවුන්ට ඉල්ලා අස්වන්නැයි ඉල්ලීමක් කර තිබුනේ ඉන් අනතුරුවය.
ජනාධිපතිවරයාගේ දැනුම් දීමෙන් අනතුරුව හිස්බුල්ලහ් මහතා, ආසඩ් සාලි මහතාගේ නිවසට ගොස් වත්මන් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වේලාවක් සාකච්ජා පවත්වා ඇති අතර මොනයම්ම තත්වයක් යටතේ හෝ ඉල්ලා අස්නොවිමට එම අවස්ථාවේදී තීරණය කර තිබේ.







