theleaderlk 01

covid19 වසංගත රෝග තත්ත්වයට අදාළව ජිවිත ආරක්ෂාව නොතකා, අවම පහසුකම්වත් නොමැතිව සේවය කරන හෙද නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව බරපතළ ගැටළු රට පුරා සෞඛ්‍ය ආයතනවල මතුවී ඇතැයි

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

ශ්‍රී ලංකා ජාතික රෝහලේ හා දිවයින පුරා අවදානම් රෝහල්වල හෙද කාර්යමණ්ඩලයේ ආරක්ෂාව සඳහා
අහඹු ලෙස රෝග පරීක්ෂණ වහා කළ යුතුව ඇති බව ද එම සංගමය අවධාරණය කර සිටියි.

ජයවර්ධනපුර,  කරාපිටිය, ගම්පහ, හෝමාගම, කාත්තන්කුඩිය හා මිනුවන්ගොඩ ඇතුළු රෝහල් ගණනාවක covid19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම නිසා අවදානම් තත්ත්වයට පත්වූ හෙද නිලධාරීන්ගේ covid19 ආසාදනය වූ බවට හඳුනා ගැනීමේ පරීක්ෂණ නියමිත පරිදි සිදු නොකිරීම සහ අදාළ හෙද නිලධාරීන් නිරෝධායනයට ලක් නොකිරීම සම්බන්ධයෙන් දැනුම් දෙමින් එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කළ ලිපියකින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

''වැලිසර කඳවුරේ නාවික හමුදා රණවිරුවන්ට සිදුවූ අවාසනාවන්ත ඉරණම රෝහලේ කාර්ය මණ්ඩලවලට අත්වෙන්න දෙන්න එපා.'' 

අනාරක්ෂිත වී ඇති හෙද කාර්යමණ්ඩලය ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ප්‍රමිතියෙන් හා ප්‍රමාණවත් ආරක්‍ෂිත මෙවලම් සපයන ලෙසත්, පළමුව අවදානම් දිස්ත්‍රික්ක වල රෝහල් කාර්යමණ්ඩල අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කොට ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය එම ලිපිය මගින් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි.

එසේ නොවුන හොත් රෝහලේ කාර්ය මණ්ඩලවලට ද, වැලිසර කඳවුරේ නාවික හමුදා රණවිරුවන්ට සිදුවූ අවාසනාවන්ත සිදුවීමට ගොදුරු වන බැවින් එය වළක්වා ගැනීම අප සැමගේ වගකීම බව ද එම ලිපිය මගින් අවධාරණය කර තිබේ.

එකී ලිපිය මගින් පහත කරුණු පෙන්වා දී ඇත. 

PCR පරීක්ෂණයේ සංවේදීතාව 70% යි !

#  ශ්‍රී ලංකා ජාතික රෝහලේ මැයි 05 දින covid19 රෝගින් තිදෙනෙකු වාර්තා වූ අතර විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීණියකටත් අසාදනය වී ඇති බව තහවුරු කළද, පසුව දෙවන පරීක්ෂණයේදී එසේ නොවන බවට තහවුරු විය.

#  PCR පරීක්ෂණයේ සංවේදීතාව 70% වන අතර මෙම පරීක්ෂණ දෙකෙන් කුමක් නිවැරදිදැයි සැකයක් මතු වේ. එබැවින් ඇයට තව දුරටත් තෙවන පරීක්ෂණයට භාජනය කළ යුතු බව අපගේ අදහසයි. 

#  එසේම ඇයගේ අධීක්ෂණය යටතේ සේවය කරන 300ක් පමණ හෙද කාර්ය මණ්ඩලය ද මේ වනවිට අවදානම් තත්ත්වයකට මුහුණ දී ඇත. 

#  මෙහිදී ජාතික රෝහලේ මැයි 05 දිනය තුල 25 දෙනෙකුගෙන් පමණ නිදර්ශක ලබා ගනිමින් පරික්ෂා කළද, අනෙක් අයගේ සාම්පල පරික්ෂා කිරීමක් සිදු නොවීය. 

#  එසේම රෝගීන් හමුවූ වාට්ටු අංක 48, 45 යන වාට්ටු වල හෙද නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා පරීක්ෂණ සිදුකිරීමට හෝ නිරෝධායනයට ලක්කිරීම වැනි ආරක්‍ෂිත පියවර කිසිවක් මේවන විට ක්‍රියාත්මක කර නොමැත.

 #  විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීණියගේ තත්ත්වය එසේ වුවද, පවතින තත්ත්වය හමුවේ ඇය පාලනය කළ එම ඒකකය, වාට්ටු හා ඒකක විෂබීජ හරණය කිරීම වැනි ආරක්‍ෂිත පියවරද කිසිවක් මේවන විට ගෙන නොමැති වීම ඔවුන් අනතුරේ හෙළීමකි.

94884218 2384426021847355 6713194133172781056 n                                ප්‍රමිතියක් ඇති N 95 මුඛ ආවරණ ප්‍රමාණවත් ලෙස හෙද නිලධාරීන්ට නොදීම ඔවුන් අනතුරේ දැමීමකි.

#  ප්‍රමිතියක් ඇති N 95 මුඛ ආවරණවත් ප්‍රමාණවත් ලෙස හෙද නිලධාරීන්ට දීමට පරිපාලනය සමත් නොවීම , ඔවුන් අනතුරේ දැමීමකි.

#  ප්‍රජාවේ රෝගියකු හමුවූ විට, එම ප්‍රදේශයට සංචරණය සිමා කරමින් අදාළ පිරිස් නිරෝධායනය කරමින්, එම ප්‍රදේශ විෂබීජ හරණය කිරීම් කළද සෞඛ්‍ය ආයතන හා රෝහල් තුළ එසේ නොකිරීම බරපතළ වැරැද්දකි.

#  සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ ආරක්ෂාව ගැන මෙලෙස අවතක්සේරු කිරීම බරපතළ වැරද්දක් වන අතර ඒ හරහා ඔවුන්ගේ චිත්ත ධෛර්ය බිඳ වැටිමද එමහින් රෝගී ප්‍රතිකාර හා සත්කාර සේවාවන් වලටද අහිතකර බලපෑම් සිදුවීමද වැළක්විය නොහැකි වනු ඇත.