රුපියල් කෝටි සියය ඉක්මවා එකතු කරමින් පවතින කෝවිඩ් වසංගත සමයේ ජනාධිපති අරමුදලක මුදල් ජනතාවට අහිමිවීමේ අවදානමක් ගැන රටේ ඉහලම යුද සෙන්පතියා අනතුරු අඟවයි.

යුද හමුදා සෙබළුන් වෙනුවෙන් පළමු රාජපක්ෂ පාලන සමයේ කෝටි හාරසිය පනහක් රැස්කළ අරමුදලට අත් වු ඉරණම COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලටද අත්වනු ඇති බවයි හිටපු අමාත්‍යවරයකුද වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසන්නේ.

"මේකට වෙන්නෙත් අපි වෙනුවෙන් අපි කියන අරමුදලට වෙච්ච දේම තමයි. ඒකෙත් තිබුනා මිලියන හාර දාස් පන්සීයක්. ඒ කියන්නේ කෝටි  හාරසිය පනහක්. ඒ මුදල කවදාවත් විගණනය කළේ නෑ.ඒ මුදල ආගියතක් නැ. මේ අරමුදලටත් ඒකම තමයි වෙන්නේ."  

හිටපු අමාත්‍යවරයා ඒ බව සදහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුගේ මාස තුනක වැටුප බව පැවසෙන රුපියල් දෙලක්ෂ අනු දෙදහස් පන්සීයක් සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළ මැයි 14 බ්‍රහස්පතින්දා ම පැවැති  මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සදහා එක්කාසු වන මුදල "ප්‍රස්තාර අඳිමින්" ජනතාවට පෙන්වමින් සිටින ආණ්ඩුව ඒවා වියදම් නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කරන හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා ආණ්ඩුවට අභියෝග කළේ එම ප්‍රතිලාභ ජනතාව අතට ලැබෙන ආකාරය සාක්ෂි සහිතව පෙන්වන ලෙසයි.


අනිවාර්ය දුෂණයක් !

එම ජනාධිපති අරමුදලේ අනිවාර්යෙන්ම වංචාවක්,  දුෂණයක් සිදු වන බව පැවසු  හිටපු අමාත්‍යවරයා එහිදි වැඩි දුරටත් අවධාරණය කර තිබුනේ අරමුදල සදහා රජයේ ආයතනවලින්  පරිත්‍යාග  ලෙස ලැබෙන  මුදල්ද අහිංසක  රජයේ සේවකයන්ගේ මුදල් බවයි.

රාජ්‍ය සේවකයන්ට මැයි මාසයේදී ලැබීමට නියමිත මාසික වැටුප හෝ ඉන් කොටසක්  ආපසු ආණ්ඩුවටම  දෙන ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර විසින් සිදු කරන ලද ඉල්ලීම ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව සිදුවුවක් බව ද හිටපු යුද්ධ හමුදාපතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග රැස්කොට මේජර් ජනරාල් කේ. බී එගොඩවෙලගේ නායකත්වයෙන් පවත්වාගෙන යන  COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය  මැයි 15 වන විට රුපියල් මිලියන දහස ඉක්මවා ගිය බව ජනාධිපතිවරයා නිවේදනය කර තිබේ.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමෙන් රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදු කළ බවට ගෝඨාභය රාජපක්ෂ සමග චෝදනා ලද අට දෙනා අතරින් එක් අයකු වන්නේ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු අධ්‍යක්ෂ කේ. බී එගොඩවෙලයි. 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්