35 හැවිරිදි චීන ජාතිකයෙකු “හරිත මාර්ගය” ඔස්සේ භාණ්ඩ කිසිවක් ප්‍රකාශ නොකර පිටව යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන්ට ඇති වූ සැකයක් මත ඔහු රැගෙන ගිය තීරු බදු රහිත වෙළඳසැලකින් ලබාගත් ටොෆි චොකලට් කවර පරීක්ෂා කර ඇත.
එහි තිබූ “ටියුලිප්” වර්ගයේ කවරයක් පිළිබඳව විමසූ අවස්ථාවේ එය ද තීරු බදු රහිත වෙළඳසැලකින් ලබාගත් බව ඔහු ප්‍රකාශ කර තිබුණි.
එහෙත් එම කවරය පරීක්ෂා කිරීමේදී ටොෆි චොකලට් අතර සඟවා තිබූ ජංගම දුරකතන කිහිපයක් සොයාගෙන ඇත.
පසුව සිදු කළ වැඩිදුර පරීක්ෂාවේදී ඔහු ඇඳ සිටි ජැකට්ටුව වටා සඟවාගෙන සිටි තවත් ජංගම දුරකතන තොගයක් ද රේගු නිලධාරීන් සොයාගෙන තිබේ.
ඒ සමගම ඔහු සමග පැමිණි 34 හැවිරිදි චීන ජාතික කාන්තාවකගේ කකුලේ මේස් තුළ සඟවා තිබූ ජංගම දුරකතන සහ තවත් 35 හැවිරිදි චීන ජාතිකයෙකුගේ ගමන් මල්ල තුළ සඟවා තිබූ ජංගම දුරකතන හා බැටරි තොගයක් ද සොයාගෙන ඇත.
රේගු නිලධාරීන් පවසන්නේ, සයිබර් මූල්‍ය අපරාධ සඳහා භාවිත කිරීමට ගෙන ආ බවට සැක කෙරෙන මෙම ජංගම දුරකතන 87ක සහ බැටරි 140ක මුළු වටිනාකම රුපියල් 51 ලක්ෂ 40 දහසක් පමණ වන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් සිදු කෙරේ.
ගිම්හාන් ද සිල්වා




