ගුවන්තොටුපල පරිශ්‍රයෙන් රටට ඇතුළු වන පුද්ගලයින් කොවිඩ් නයින්ටීන් සඳහා පරික්ෂා කිරිමේ යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කළ යුතු බව

වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය පවසයි.

එහි සභාපති රවී කුමුදේශ් පෙන්වා දෙන්නේ එලෙස යාන්ත්‍රණයක් සකස් කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට සිය සංගමය සූදානම් බවයි.

රට නැවත  විවෘත කිරීමට පෙර ගුවන්තොටුපල පරිශ්‍රය තුළ රසායනාගාර පහසුකම් සූදානම් කර තැබීම අත්‍යාවශ්‍ය කරුණක් බව ද රවී කුමුදේශ් පවසයි.

ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් රටට ඇතුළු වන පුද්ගලයන් කෝවිඩ්19 සඳහා පරීක්ෂා කිරීමේ යාන්ත්‍රණය නොසළකා හැරීමෙන් ඇති විය හැකි ගැටළු පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන ලෙස දැනුම් දෙමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති බව ද වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේය.

 

තත්වය බරපතලයි : ප්‍රමාද කරන්න එපා !

ඔහු එම කාරණය අවධාරණය කරන්නේ, අලුතින් හමූ වූ කොරෝනා ආසාදිතයින් අතර කටාර්-කුවේට් සහ මාලදිවයිනේ සිට පැමිණි ලාංකිකයින් ගේ වර්ධනයක් පෙන්නුම් කරමින් තිබිය දිය.

කටාර් රාජ්‍යයෙන් පැමිණි පුද්ගලයින් 19 දෙනෙකු ද ඊයේ වාර්තා වූ නව්‍ය කොරෝනා ආසාදිතයින් පිරිස අතර වේ. කුවේටයේ සිට පැමිණි පුද්ගලයින් 08 දෙනෙකු සහ මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් 03 දෙනෙකු ද ඊයේ වාර්තා වූ නව්‍ය කොරොනා ආසාදිතයින් අතර වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේය.

එම තත්වය තුල වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය විසින් මාධ්‍ය වෙත ද පිටපත් සහිතව ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති එම ලිපියේ මෙසේද සඳහන් වේ.

 

සෞඛ්‍ය පරිපාලනයේ හා කළමනාකරනයේ වගකීමක් !

දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකීය පුරවැසියන්ගේ බදු මුදල් මඟින් නඩත්තු වන නිදහස් සෞඛ්‍ය සේවාවේ සම්පූර්ණ ප්‍රතිලාභය රටේ සියළු පුරවැසියන්ට සමානව ලබා දීම උදෙසා, නිශ්චිත පුරෝකථනයන්ට ගැළපෙන පරිදි අදාල සේවාවන් කල්තබා සූදානම් කර තැබීම සෞඛ්‍ය පරිපාලනයේ හා කළමනාකරනයේ වගකීමකි.

ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් රටට ඇතුළු වන පුද්ගලයන් එම පරිශ්‍රය තුලදීම පරීක්ෂා කිරීම සඳහා විධිමත් රසායනාගාර පහසුකම් පූර්ව වශයෙන් සූදානම් කර තැබිම සහ එහි වැදගත්කම පිළිබඳව අප වෘත්තීයවේදී ආයතනය අවස්ථා ගණනාවකදීම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පෙන්වා දෙන ලදී.

කෝව්ඩ්19 පාලනය සඳහා රසායනාගාර සේවාව විධිමත් කිරීම පූර්ව වශයෙන් ලබා දුන් අනෙකුත් බොහෝ යෝජනා මෙන්ම මෙම යෝජනාවද ප්‍රමාද වී ක්‍රියාත්මක කරන ස්වාභාවයක් අප නිරීක්ෂණය කරන අතර ඒ හේතුවෙන් මතුවී ඇති පහත ගැටළු පිළිබඳව ඔබගේ අවධානය නැවත යොමු කරවමි.

  1.  කෝවිඩ්19 ලෝක වසංගත තත්වය හමුවේ ආසාදිත පුද්ගලයන් එක් රටක සිට තවත් රටකට යොමු නොකල යුතු බවත් රෝගය ආසාධිත වූ රට තුලම අදාල පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදී සුවපත් කිරීම ඒ ඒ රට වල වගකීමක් ලෙසට පැහැදිලි රීතියක් පවතී.

එසේ වුවද මේ වන විට ආසාධිතයන් විශාල වශයෙන් රට තුලට පැමිණෙන බවට සෞඛ්‍ය අංශ විසින් සිදු කරන චෝදනාව විවාදාත්මක තත්වයකට පත්ව ඇත. නමුත් හඳුනා ගනු ලබන අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන තුලදී හෝ රට අභ්‍යන්තරයේ වන වෙනත් ස්ථානයකදී ආසාදනය වූ පුද්ගලයන් බවට නැඟෙන ප්‍රතිචෝදනාව බැහැර කිරීමට නොහැකිව ඇත්තේ ගුවන් තොටුපල පරිශ්‍රයේදී ආගමණිකයින් නිසි පරිදි රසායනාගාර පරීක්ෂණයකට ලක් නොකිරීම හේතුවෙනි.  

2. රට නැවත විවෘත කිරීමට පෙර ගුවන් තොටුපල පරිශ්‍රය තුල රසායනාගාර පහසුකම් සූදානම් කර තැබීම සඳහා විශාල හැකියාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පැවතියදී ඒ පිළිබඳව පූර්ව වශයෙන් සිදු කරන ලද යෝජනාද නොසළකා හරිමින් ගැටළුකාරී තත්වයන් ඇතිවූ පසුව ඒ පිළිබඳ ක්ෂණික පිළියම් සෙවීමේ සෞඛ්‍ය අමාත්‍යාංශ පිළිවෙත හේතුවෙන් කෝවිඩ් වසංගත මර්ධන වැඩසටහනට වරින් වර ඇති වන බාධාවන් පිළිබඳව අවධානය යොමු කරමින් ගුවන් තොටපළ පරිශ්‍රයේ වෛද්‍ය රසායනාගාරයක් කඩිනමින් නිර්මාණය කිරීම සඳහා ඔබගේ සෘජු මැදිහත් වීම ලබා දීම.

  1.  ගුවන් තොටුපල පරිශ්‍රය තුල නිර්මාණය කරන රසායනාගාරයක් මඟින් සියළු ආගමණිකයන් RT-PCR පරීක්ෂාවට ලක් කිරීම කළ හැකි වුවද එය අනවශ්‍ය වියදම් සහිත හා වෛද්‍ය රසායනාගාර මූලධර්ම වලට අදාලව ප්‍රායෝගික නොවන මතයක් තුල එල්බ ගැනීමකි.

එබැවින් RT-PCR පරීක්ෂණ පහසුකමද සහිතව ජීව රසායන වෛද්‍ය රසායනාගාර ක්‍රමවේදයන්ද භාවිත කරමින් සිදු කරන සමෝදානික රසායනාගාර ක්‍රමවේද මඟින් ආගමණිකයන් සඳහා පැයක පමණ කාලයකදී රසායනාගාර පරීක්ෂණ වාර්තාවක් නිකුත් කල හැකි වන පරිදි මෙම රසායනාගාර සේවාව නිර්මාණය කළ හැකි බැවින් ඒ සඳහා නිවැරදි තාක්ෂණික දැනුම සහිත වෘත්තීය දායකත්වය ලබා ගත යුතු වීම.

උක්ත කරුණු පිළිබඳව ඔබගේ කඩිනම් මැදිහත් වීම අපේක්ෂා කරන අතර රසායනාගාර සේවාවේ ඒකාධිකාරී තීරණ ගැනීමේ ක්‍රමවේදය මඟින් වරින් වර සිදු කර ගන්නා කළමනාකරන අත්වැරදීම් පිළිබඳව වඩා වැඩි අවධානයක් අපේක්ෂා කරමි.

කොරෝනා වසංගත තත්වය ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව තුල හොඳින් පාලනය කිරීමට අවශ්‍ය පූර්ණ කැපවීම සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය විසින් ලබා දෙමින් තිබියදී, එය හේතුවක් කර ගනිමින් කළමනාකරන අත්වැරදී සිදුකිරීම සඳහා අනවශ්‍ය ඉඩකඩක් නිර්මාණය නොකල යුතු බව ඉතා ඕනෑ කමින් පෙන්වා දෙමි.

 

සෞඛ්‍ය අමාත්‍යවරියගේ අවධානය යොමුවේ :

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසන්නේ, කටුනායක ගුවන් තොටුපළේ ආවේක්ෂණ කටයුතු පුළුල් කර ගුවන් මගීන් සඳහා PCR පරීක්ෂණ ගුවන් තොටුපළේදීම සිදුකිරීමට අවධානය යොමුව ඇති බවයි.

ඊට අවශ්‍ය පහසුකම් කඩිනමින් සකස් කරන ලෙස තමන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව කටුනායක ගුවන් තොටුපළේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කළාය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්