ජනරාල් මාටින් ඩෙම්සි, ඔබාමා පරිපාලනය සමයේ 2011 සිට 2015 දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළම හමුදා නිලධාරියා ලෙස කටයුතු කළේය.
පොලිස් භටයෙකු විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයාගේ ගෙල දණහිසට හිර කරනු ලැබීමෙන් සිදු වූ මරණයට එරෙහිව පෙරට යමින් පවතින මහජන විරෝධය හමුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කළ ක්‍රියාමාර්ගය හිටපු හමුදා ප්‍රධානීන් ගණනාවකගේ හෙලා දැකීමට ලක් වී තිබේ.
ඒකාබද්ධ හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානීන්ගේ හිටපු සභාපති, ජනරාල් මාටින් ඩෙම්සි (Gen Martin Dempsey) පවසන්නේ, උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා හමුදාව යොදවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය "අන්තරායදායක" බවය.
ජනරාල් ඩෙම්සි, ඔබාමා පරිපාලනය සමයේ 2011 සිට 2015 දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළම හමුදා නිලධාරියා ලෙස කටයුතු කළේය.
ට්‍රම්ප් පරිපාලනයේ වත්මන් ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ද ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ගැන අදහස් දක්වා තිබුණි.
ජනරාල් ජේම්ස් මැටිස්:
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකානු සමාජයේ බෙදීම් සිතාමතා ම අවුළුවන බවට චෝදනා කරන හිටපු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් (James Mattis), ජනාධිපතිවරයා අනුගමනය කළ ක්‍රියාමාර්ගය සිය කෝපයට සහ කම්පාවට හේතු විණැයි පවසා තිබුණි.
ජනාධිපති ට්‍රම්ප් ''බලය අවභාවිත'' කරන බවට දෝශාරෝපණය කරන හිටපු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස්, හිටපු ජනාධිපති බරක් ඔබාමා අනුව ඇමෙරිකානු සාරධර්ම තහවුරු කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරන අතරවාරයේ විරෝධතාවාදීන්ට සහාය පළ කිරීමක් ද සිදු කරයි.
ජේම්ස් මැටිස්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ආරක්ෂක ලේකම්වරයා වූ අතර ඔහු 2018 වසරේදී ඉන් ඉල්ලා අස්විය
මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය හිටපු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් විග්‍රහ කර තිබුණේ ''පමණ ඉක්මවා ගිය ජනරාල්වරයෙකු'' හැටියට ය.
ජනාධිපති ට්‍රම්ප් විසින් සිරියාවෙන් ඇමෙරිකානු හමුදා ඉවත්කර ගනු ලැබීමෙන් අනතුරුව, ජේම්ස් මැටිස් 2018 වසරේ ආරක්ෂක ලේකම් පදවියෙන් ඉවත්විය.
මේ සතියේ බදාදා (ජුනි 03) 'ද ඇට්ලැන්ටික්' සඟරාවෙහි 'ට්‍රම්ප් පාලනය' පිළිබඳ ඔහුගේ විවේචනය පළ කරන තෙක් ජේම්ස් මැටිස් විසින් වැඩි වශයෙන් අනුගමනය කරන ලද්දේ නිහඬ පිළිවෙතකි.
මේ අතර තමාට එල්ල වී ඇති අලුත් ම විවේචනය සම්බන්ධයෙන් 'ට්විටර්' පණිවුඩ කීපයක් මගින් ප්‍රතිචාරය දක්වන ජනාධිපති ට්‍රම්ප්, එමගින් කියා සිටින්නේ 'මැටිස් පදවියෙන් නෙරපා හැරිය යුතුව' තිබුණ බවය.
''මම ඔහුගේ නායකත්ව ශෛලියට හෝ ඔහුට අදාළ වෙනත් දේවලට කැමැති නැහැ. වෙනත් බොහෝ අය ඊට එකඟයි. ඔහු ඉවත්ව යාම සතුටක්!'' ජනාධිපතිවරයා ලියා ඇත.
ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ තවත් 'ට්විටර්' පණිවුඩයක මෙසේ දැක්වෙයි.
''සමහරවිට බරැක් ඔබාමා සහ මම ගරු කරන එක ම කාරණය, ලෝකයේ වැඩියෙන් ම පමණ ඉක්මවා කටයුතු කරන ජිම් මැටිස් පදවියෙන් එලවා දැමීම වෙන්න පුළුවන්. මම ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඉල්ලා සිටියා. ඒ ගැන මට තියෙන්නේ සතුටක්! මැටිස්ට පටබැඳ ඇති නම 'අවුල්කාරයා' යන්න. ඒත් මම ඒකට කැමති නැහැ. මම ඒක වෙනස් කරනවා - පිස්සු බල්ලා කියල.''
මෙම වාග් සංග්‍රාමය ආරම්භ වුණේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් රැකියාවලින් දොට්ට දමන ලද පොලිස් භටයන්ට එරෙහිව අලුතින් චෝදනා ගොනු කරනු ලැබීමත් සමගය.
ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙල සිරකරගෙන සිටි ඩෙරික් චෝවින් (Derek Chauvin) පොලිස් භටයාට එරෙහිව ''කලින් සිතාමතා සැලසුම් නොකරන ලද මිනීමැරීමේ'' චෝදනා යටතේ අලුතින් චෝදනා ඉදිරිපත් කර ඇති අතර, ඔහු සමග සිටි සෙසු පොලිස් භටයන් තිදෙනාට මිනීමැරීමකට අනුබල සහ ආධාර දීම මත චෝදනා ගොනුකරනු ලැබ ඇත.
කළු ජාතිකයාගේ මරණය එක්සත් ජනපදය පුරා දැවැන්ත මහජන විරෝධතා ව්‍යාපාර පැතිර යාමට හේතු විය.
එම මරණයෙන් අනතුරුව ගත වූ දින නවය ඇතුළත දියත් වූ මහා විරෝධතා ව්‍යාපාරවලින් වැඩි කොටසක් සාමකාමී වූ ඒවා විය. එහෙත් ඇතැම් විරෝධතා ව්‍යාපාර ප්‍රචණ්ඩ මුහුණුවරක් ගත අතර, ඒවා පාලනය කර ගැනීම සඳහා නගර ගණනාවක ඇඳිරි නීතිය පැනවීමට පවා සිදුවිණි.
ජේම්ස් මැටිස් කිව්වේ මොනවා ද?
ජේම්ස් මැටිස් 'ද ඇට්ලැන්ටික්' (The Atlantic) සඟරාවට මෙසේ ලීවේය.
''මගේ ජීවිත කාලය තුළ ඇමෙරිකානු ජාතිය එකමුතු කිරීමට උත්සාහ නොකළ එක ම ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප්. අඩුතරමින්, ඔහු එවැන්නකට උත්සහ කරන බවට ඇඟවීමක්වත් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු උත්සහ ගත්තේ අප බෙදා වෙන් කිරීමටයි'
මැටිස් සිය විශ්ලේෂණයේ තවදුරටත් මෙසේ සඳහන් කරයි.
''ඔහු සිතාමතා ම සිදු කරන ක්‍රියාමාර්ගවල ප්‍රතිවිපාක අපි අවුරුදු තුනක කාලයක් විඳවමින් සිටිනව. මුහුකුරා නොගිය නායකත්වයක ප්‍රතිවිපාක අපි විඳවමින් සිටිනවා.''
පසුගිය දා දියත් වූ වර්ගවාදයට එරෙහි විරෝධතා රැල්ල සම්බන්ධයෙන් ද ජේම්ස් මැටිස් අදහස් දක්වයි.
'නීතිය කඩ කරන කුඩා පිරිසක් නිසා අප කලබල විය යුතු නැහැ. විරෝධතා ව්‍යාපාර පෙරට ආවේ, ජාතියක් හැටියට අපි අපේ සාරධර්ම රැකගත යුතු බව අවධාරණය කරන දස දහස් සංඛ්‍යාත ජනයාගේ හෘද සාක්ෂිය අනුව.''
පසුගිය 2018 වසරේ දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කෙරුණ විශ්‍රාමික ජනරාල්වරයාගේ ලිපිය ජනාධිපති ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය දැඩි දෝෂ දර්ශනයට ලක් කෙරෙන කරුණුවලින් පිරී පැවතිණි.
ඔහු මෙවර විරෝධතා ව්‍යාපාර මැඩලීමට ජනාධිපති ට්‍රම්ප් විසින් යුද්ධ හමුදාව යොදාගනු ලැබීම හෙළා දකියි.
''තමන්ගේ ම ජනතාව සතු ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝණය කෙරෙන ඕනෑ ම තත්ත්වයක් යටතේ යුද්ධ හමුදා කැඳවීමටනියෝග කරනු ඇතැයි මම සිහිනෙන්වත් සිතුවේ නැහැ," ඔහු පවසයි.
මෙම සතිය මුලදී ධවල මන්දිරය අසල උයනක පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ගසමින් රබර් උණ්ඩවලින් වෙඩි තැබීමේ සිද්ධියක් ගැන ජනරාල් මැටිස් සඳහන් කරයි.
අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉහත කී සිද්ධියේදී ගිනි තබනු ලැබීමෙන් හානි සිදු වූ ඓතිහාසික දේවස්ථානයක පින්තූර ගැනීමේ අවස්ථාවකට සහභාගි වීම සඳහා එම උයන හරහා ගමන් කළේය.
එය ඔහුට විපක්ෂයේ 'ඩිමොක්‍රටික්' පක්ෂයෙන් සහ ආගමික නායකයන්ගෙන් දැඩි විවේචන එල්ල වීමට හේතුවක් විය. ජනාධිපතිවරයා ඡායාරූප ගැනීමේ අවස්ථාවක් මවාපාමින්, මහජන විරෝධතාවාදීන් කුපිතකාරී ආකාරයට ඉලක්ක කර ගත් බව එම විවේචනවලින් පැවසිණි.
"විරෝධතාකරුවන් කල්තබාම උයනෙන් ඉවත්කරනු ලැබීම 'විධායක බලය අවභාවිතයක්' යයි පවසන ජෙනරල් මැටිස්, ඉහත කී 'අරුම පුදුම ෆොටෝ සෙල්ලම' ගැන සඳහන් කරනු ලැබ තිබෙන්නේ සරදම්සහගතවය.
විරෝධතාකරුවන් සාමකාමී ද? නැද්ද? යන්න ජනාධිපති ට්‍රම්ප් විසින් දිගින් දිගට ම ප්‍රශ්න කරනු ලැබ ඇත. එසේ ම ඔහු විසින් කලින් නිකුත් කරන ලද 'ට්විටර්' පණිවුඩයක "මම ඓතිහාසික දේවස්ථානය වන්දනා කිරීම සඳහා ඇවිදගෙන ගිය ගමන ගැන මහජනයා මනාපයි,'' යනුවෙන් දැක්වෙයි.
සිය හිටපු ප්‍රවෘත්ති ලේකම් ෂෝන් ස්පයිසර් (Sean Spicer) සමග බදාදා (ජුනි 03) පැවැත්වූ සාකච්ඡාවකදී අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප්, ඔහු දෙවොල කරා ගිය ගමන යළි යුක්තිසහගත කළේය. එම ගමන 'ඉතා හොඳින් මෙහෙයවන' ලද බවත්, ආගමික නායකයන් එමගින් 'ප්‍රසාදයට පත් ' වූ බවත් ඔහු පැවසීය.
ඔබාමා කීවේ කුමක්ද ?
පසුගිය දා ආරම්භ වූ විරෝධතා ව්‍යාපාර මගින් නිර්මාණය කරන ලද ගතිකත්වය ඉදිරි පරිවර්තනයක් සඳහා බද්ධ කරනු ලැබීම අතිශයින් වැදගත් කරුණක් වන බව හිටපු ජනාධිපති බරක් ඔබාමා පෙන්වා දෙයි.
ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් අනතුරුව පළමු වරට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අදහස් දැක්වූ බරැක් ඔබාමා, එම විරෝධතා ඔහුගේ ජීවිත කාලය තුළ දුටු අන් ඕනෑ ම දෙයක් මෙන් ගැඹුරක් සහිත සිදුවීමකැයි කියා සිටියේය. තවදුරටත් අදහස් දැක්වූ ඔබාමා සමාජයේ පවතින බරපතළ ප්‍රශ්න සමග ගනුදෙනුවක් සඳහා මේ අවස්ථාව උපයෝගී කර ගන්නා ලෙස ඉල්ලීමක් ද කළේය.
බලය පාවිච්චි කරමින් විරෝධතා මැඩලීමේ පිළිවෙත ගැන යළි සලකා බලන ලෙස බරැක් ඔබාමා ඇමෙරිකාව පුරා නගරාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටි නමුත්, ජනාධිපති ට්‍රම්ප් විරෝධතා ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කරන ලද ආකාරය ගැන කෙලින් ම අදහස් දක්වා නැත.
සසෙක්ස්' ආදිපාදවරිය, මේගන් මාකල්
ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් 'සසෙක්ස්' ආදිපාදවරිය, මේගන් මාකල්, පෞද්ගලික පණිවුඩයක් නිකුත් කර ඇත. ජෝජ්ගේ ජීවිතයත් 'වැදගත්' එකකැයි සඳහන් කරන ආදිපාදවරිය, පසුගිය දා දියත් වූ විනාශකාරී ක්‍රියා ගැනත් සඳහන් කරන්නීය.
ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින්, ඔහු අප්‍රේල් මස මුල කොරෝනා ආසාදනය වී සිටි බවක් ද අනාවරණය විය. එහෙත් එම තත්ත්වය ඔහුගේ මරණය කෙරෙහි බලපෑමක් නොවූ බව නිලධාරීහු අවධාරණය කරති.
(බීබීසී සිංහල සේවය)