වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට විදෙස්ගත වීම සඳහා අධිකරණය ලබා දුන් දින වකවානු තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි බව ජනාධිපති නීතිඥ අලි සබ්රි විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරණයට දැනුම් දී ඇත.
මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය හා ස්මාරකය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 33.9ක රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පවතින නඩුවට මෝසමක් ඉදිරිපත් කරමින් ජූනි 03 වැනිදා ජනාධිපති නීතිඥවරයා ඒ බව දැනුම් දී තිබේ.
පසුගිය මැයි මස 24 සිට ජූනි 02 දින දක්වා සිංගප්පූරුවට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂට ත්‍රීපුද්ගල මහාධිකරණයෙන් අවසර ලැබී තිබුණි.
එම මෝසම අනුව කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණයට දන්වා තිබුණේ ගෝඨාභය රාජපක්ෂගේ සෞඛ්‍ය තත්වය අයහපත් බැවින් ඔහුට තව දුරටත් පරීක්ෂණ සිදුකිරීමට ඇති බැවින් විදෙස්ගත වීමට අධිකරණය ලබා දුන් දින දික්කරන ලෙසය.
ඒ අනුව ජූනි 19 දක්වා විදෙස්ගත වීමේ කාලය අධිකරණය දික්කර ඇත. මේ ජූනි 19 වැනිදා යනු ගෝඨාභය රාජපක්ෂට එරෙහි මූල්‍ය වංචා නඩුව විභාග කිරීම සඳහා අධිකරණය මීට පෙර ලබාදුන් දිනයය.
ගෝඨා නොමැතිව නඩුව පවත්වාගෙන යෑමට :
මෝසම කැඳවූ අවස්ථාවේදී කරුණු දක්වමින් රජයේ අධිනීතිඥ වසන්ත පෙරේරා කියා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ නොමැතිව නඩුව පවත්වාගෙන යෑමට බාදාවක් නොමැති බවයි. එහෙත් ජනාධිපති නීතිඥ අලි සබ්රි කියා ඇත්තේ නඩුව විභාගවන අවස්ථවේ අධිකරණය හමුවේ ගෝඨාභය රාජපක්ෂ සිටිය යුතු බවයි. ඔහුට උපදෙස් ලබාගැනීමට ගෝඨාභය රාජපක්ෂ සිටීම වැදගත් බවයි.
කෙසේ වෙතත් නඩුව කල් දැමීම ගැන තීරණයකට සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් හා චම්පා ජානකී ජයරත්න යන ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරන් පැමිණ නැති අතර මුලින් තීරණය කර තිබූ පරිදිම ජූනි 19 දින එම නඩුව විභාගයට ගැනීමට නියමිතය.
තමා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරනවා යැයි කියන මේ සුවිශේෂ පුද්ගලයා සම්බන්ධයෙන් වූ එම නඩුවේ විස්තර සිය මුල් පිටුවල පොල්ගෙඩි අකුරින් පළ කරන්නට ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍ය උත්සාහ කර තිබුණේ නැත.
ඊට පහුවදා දිනමිණ පුවත්පතේ හා අයිලන්ඩ් පුවත්පතේ ඇතුළු පිටුවක වැඩි අවධානයකින් තොරව එය පළ වී තිබිණි.
එමෙන්ම ජූනි 03 වැනිදා රාත්‍රියේදී රූපවාහිනී නාලිකාවලටද මෙය ප්‍රධාන ප්‍රවෘත්තියක් වී නොතිබුණි.
එසේ වන්නේ පැහැදිළිවම මේ බොහෝ මාධ්‍ය රාජපක්ෂ මතවාදය වෙනුවෙන් පෙනී සිටීමෙන් ගෝඨාභය රාජපක්ෂව අනාගත ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා කිරීමේ සිහිනයක හෙවත් ව්‍යාපෘතියක මේ මාධ්‍ය නියැලී සිටින නිසාත්ය.
මෙම නඩුව සුළු චෝදනාවක් සම්බන්ධයෙන් නොවේ:
ගෝඨාභය රාජපක්ෂට එරෙහි මෙම නඩුව සුළු චෝදනාවක් සම්බන්ධයෙන් නොවේ. අපරාධ ගණයට වැටෙන චෝදනාවකි. මේ නඩුවෙන් බේරීම සඳහා ගෝඨාභය නොකළ දෙයක් නැත.මේ නඩුව සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලබාගත්තේය. ඒ නිසා ඔහු අත්අඩංගුවට ගැනීම වැළකුණි. රිමාන්ඩ් බන්ධනාගාරගත වීම වැළකුණි.
මේවා සිදුවූයේ රාජ්‍ය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය සම්බන්ධයෙන් වෙනත් දේශපාලඥයන්ද රාජ්‍ය නිලධරීන්ද අත්අඩංගුවට පත්වී රිමාන්ඩ් බන්ධනාගාරගතවූ පසුබිමකය.
ඉන්පසු ගෝඨාභය රාජපක්ෂ උත්සාහ කරනු ලැබූයේ විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරණයේ මෙම නඩුව විභාග වීම වැළැක්වීමටය. ඒ සඳහා ඔහු අභියාචනාධිකරණයේ පිහිට පැතීය. එහෙත් ත්‍රීපුද්ගල මහාධිකරණය එම නඩුව ජූනි 19 සිට විභාගයට ගන්නා බවට තීරණය කළේය. අභියාචනාධිකරණයට යොමු කළ ඔහුගේ ඉල්ලීම තවම පවතී. මේ අසනීපය එම තීන්දුව එනතෙක් දැයි නොදනිමු.
එහෙත් ගෝඨාභය රාජපක්ෂට අසනීපය උත්සන්න වූයේ ඉන් පසුවය. වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වීමට ඔහු අවසර ලබා ගත්තේ ඒ අනුවය. දැන් නියමිත දිනට රටට පැමිණීමට නොහැකි ලෙස ඔහුගේ රෝගී තත්වය අසාද්‍ය තත්වයට පත්වී ඇත.
ජනාධිපති අපේක්ෂකයා බරපතල රෝගියෙක් !
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ ඉදිරියෙන්ම සිටිනවා යැයි කියන අපේක්ෂකයා බරපතල රෝගාබාධවලට බරපතල පරීක්ෂණ සිදුකරමින් සිටින බරපතල රෝගියෙකි. ජූනි 19 වැනිදාත් ඔහු ලංකාවට නොපැමිණිය හොත් එහි තේරුම වන්නේ ඔහුගේ රෝගී තත්වය තව තවත් උත්සන්න වී බරපතල වී ඇති බවය.
ඒ ගැන හරියටම කියන්නට අපට එම දින තෙක් බලාගෙන සිටින්නට වනු ඇත. එහෙත් මෙම නඩුවේ චෝදනා අනුව ඔහු කිසිදු බයක් සැකයක් නොමැතිව සියලු නීති රීති කඩකරමින් රාජ්‍ය මුදල් අවභාවිතා කර ඇති බවට කරුණු තිබේ.
ඔහුගේ එම හැසිරීම් අයියාගේ රාජ්‍ය බලය යටතේය. ඔහුට රාජ්‍ය බලය ලැබුණහොත් කොහොම වේද? එය ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් විය නොහැකි බව නම් දැන්ම කිව හැකිය.
(අනිද්දා)