පසුගිය මාස කිහිපයක් පුරා දේශපාලන කරලියේ රඟ දැක්වුණ 'ජනපති-ගෝඨා ඝාතන කුමන්ත්‍රණ කතාවේ ඇත්ත නැත්ත මේවනවිට පොලිස් පරීක්ෂණ තුළින් අනාවරණය වී ඇති අතර එය දුෂණ විරෝධී බලකාය නම්

සංවිධානයක් නියෝජනය කරන නාමල් කුමාර නම් පුද්ගලයා, හඳුනා නොගත් දේශපාලන අරමුණක් වෙනුවෙන් කළ කුමන්ත්‍රණයක් බවට මේවනවිට තහවුරු වී ඇතැයි පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'ද ලීඩර්' වෙත පැවසිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සැළසුම් කරන බවට කළ හෙළිදරව්ව පසුගිය සමයේ ශ්‍රී ලංකාවේ ප්‍රබල අවධානයට ලක්වූ පුවතකි. 

නාමල් කුමාර නැමැත්තා විසින් කළ එම හෙළිදරව්ව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාස හයකට වැඩි කාලයක් තිස්සේ විමර්ශන කර තිබු අතර එහිදී පුද්ගලයින් සියදෙනෙකුට වැඩි පිරිසකගේ දුරකත සංවාද, හඬපට ද පරික්ෂාවට භාජනය කර තිබිණ. 

එසේම, ඔහු විසින් ලබාදී තිබු හඬපට අතර තිබු මැකී ඇති කොටස් ප්‍රතිනිර්මාණය (retrieve) කර ගැනීම සඳහා හොංකොන් රාජ්‍යයේ ‘ඩේටා එක්ස්පර්ඩ්‘ ආයතනය වෙත ද යවා පරික්ෂා කර තිබිණ. 

කෙසේවුවද නාමල් කුමාර විසින් ලබාදී තුබූ ප්‍රකාශ හෝ හඬපට තුලින් හෝ විද්‍යාත්මක පරීක්ෂණ තුලින් හෝ වෙනත් පරිබාහිර සාක්ෂිවලින් ජනපති - ගෝඨා ඝාතන කුමන්ත්‍රණයක් හෙළිදරව්වී නොමැත.

නාලක සිල්වා ගැන වෙනත් සැකයක් !

නාමල් කුමාර විසින් කළ ප්‍රභූ ඝාතන චෝදනාව මත සැකපිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා රිමාන්ඩ් භාරයට පත්ව මේවනවිට ඇප මත මුදාහැර සිටියි.

නාමල් කුමාරගේ ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි අතුරු ප්‍රතිපලයක් ලෙස වෙනත් කාරණයක් අනාවරණය කරගෙන ඇත. ඒ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් ඝාතනය කිරීමට සැලසුම් කර ඇතිබවට හා ඒ සඳහා ආධාර අනුබල දී ඇති බවයි. 

එහෙත් එයද දෙදෙනා අතර වූ පෞද්ගලික කෝන්තරයක් මත සිදුකරනු ලැබුවක් බවට සැකකෙරේ.

රනිල් එලවන්න ගහපු 'ගේමක්' !

ජනාධිපති- ගෝඨා ඝාතන කුමන්ත්‍රණ කතාව පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 26 සිදුවූ ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණයට ද පාදක කර ගනු ලැබිය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් පලවා හැර මහින්ද රාජපක්ෂ අගමැති කරවීම සාධාරණිකරණය කිරීමට යොදා ගත්තේ නාමල් කුමර මාධ්‍ය හමු පවත්වා සිදුකල ප්‍රකාශයන්ය.

නාමල් කුමාර නැමැත්තා ප්‍රභූ ඝාතනයක් ගැන පලමුවරයා හෙළිදරව්ව කළේ පසුගිය සැප්තැම්බර් 12 වෙනි දින මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමිනි.

නාමල් කුමාර එදින එම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුණේ, මහනුවර දිගන ප්‍රදේශයේ ජාතිවාදී ගැටුම් වලට සම්බන්ධ බවට සැකකෙරන මහසෝන් බලකායේ අමිත් වීරසිංහ අත්අඩංගුවට ගැනීම හා බැඳුනු කරුණු කිහිපයක් ගැන අදහස් දැක්වීම සඳහාය. 

විශේෂයෙන්ම අමිත් වීරසිංහ ඇතුළු පිරිස මහනුවරදී අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගැන විශේෂ හෙළිදරව්වක් කිරීම එම මාධ්‍ය සාකච්ඡාවේ අරමුණ වී තිබුණි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පොලිසියේ සෙසු නිලධාරීන්ට එරෙහිව කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවට නාමල් කුමාර මුලින්ම එහිදී චෝදනා කළේය. 


මාකඳුර මදුෂ් :
 103463082 screenshot2018 09 17at14.40.13.png


නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සමාජ මාධ්‍ය යොදාගෙන පොලිසියේ තවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකුට චෝදනා කරන ලෙස ඉල්ලන බව පැවසෙන හඬ පටයක් ද ඔහු මෙහිදී මාධ්‍ය වෙත ඉදිරිපත් කළේය.

මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු පිරිස මහනුවර ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ අසත්‍ය තොරතුරු මත පදනම්ව බවට ද ඔහු එහිදී චෝදනා කළේය. 

ඉන් අනතුරුව ඔහු ඉදිරිපත් කළේ අගමැතිවරයාට "ලකුණු වැටෙන ලෙස" යම් වැඩපිළිවෙලක් සකස්කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා කළ බව පැවසෙන ඉල්ලීමකි. ඒ සඳහා ඔහු ඉදිරිපත් කළ හඬ පටයේ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතර සම්බන්ධයක් ගැන ද අදහස් පළවේ.

ඉන් අනතුරුව අදහස් දැක්වූ ඔහු, පාතාල නායකයෙකු ලෙස හැඳින්වෙන මාකඳුර මදුෂ් මාර්ගයෙන් ජනාධිපතිවරයා හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සැලසුම් කර තිබූ බවත් සඳහන් කළේය.

මිට මාස දෙකකට පමණ ඉහතදී එම සාකච්ඡාව සිදු වූ බව එහිදී සඳහන් කළ නාමල් කුමාර, ජාතික ආරක්ෂාව වෙනුවෙන් එම හෙළිදරව්ව කරන බවත් කියා සිටියේය.

කෙසේ වුවත් ජනපති ඝාතනයක් ගැන අදහස් දක්වන හඬ පටයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කෙරුණු හඬපට අතර නොවීය. 


ඒකාබද්ධ විපක්ෂයේ මැදිහත්වීම :

නව සංවිධානයක නමින්, මින් පෙර නොදැන සිටි තරුණයකු සිදු කළ එම හෙළිදරව්වට පළමු දිනයේ මාධ්‍යවල පවා එතරම් අවධානයක් යොමුවී නොතිබුණි.

කෙසේ වුවත් ඒ ගැන රටේ අවධානය යොමුවූයේ ජනපති හා ගෝඨාභය රාජපක්ෂ ඝාතන උත්සාහය ගැන නාමල් කුමාර කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන මෙන් ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය හමුවේ ඉල්ලා සිටීමෙන් අනතුරුවය.

එදිනම නාමල් කුමාර ද ජාතික පොලිස් කොමිසමට මේ ගැන පැමිණිලි කර තමන් කරන චෝදනා ගැන විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටියේය. 

දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර එල්ලකළ චෝදනා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ප්‍රතික්ෂේප කර තිබූ අතර අදාළ හඬපට ව්‍යාජ ඒවා බවත් ඔහු පොලිස් ප්‍රධානීන්ට පවසා තිබුණි.

ඒ සමගම පොලිස්පති පූජිත් ජයසුන්දර ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන මෙන් සැප්තැම්බර් 13දා  පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළත්, ජනාධිපතිවරයාගේ නියෝගයක් මත අදාළ පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබිණ. 

අනතුරුව පැවති නඩු විභාගයන් හිදී එම සිද්ධියේ මුල් පැමිණිලිකරු වන දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර වෙනුවෙන් පෙනීසිටියේ, ආණ්ඩුකාර නීතිඥ මෛත්‍රී ගුණරත්න වීමද විශේෂ කාරණයකි.


සහරාන් ගැන නාලක සිල්වාගේ අනාවරණය
 107229917 nalaka
                                                          නාලක සිල්වා කමිටුව හමුවේ සාක්ෂි දෙමින්  ....

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වන පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ හිටපු ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ජුනි 04දා පැවසුයේ, තමන් අත්අඩංගුවට ගැනීමට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරයේ නායක සහරාන් අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර සිටියත් තමා අත්අඩංගුවට පත්වීම නිසා එය මගහැරුණු බවය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙසින් සැලකෙන සහරාන් හෂීම් සම්බන්ධයෙන් 2013/2014 වසරේ සිට පොලිසිය විමසිල්ලෙන් සිටි බව නාලක සිල්වා එහිදී පැවසිය.

සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම පිළිබඳ පොලිසිය 2016 සිට විමර්ශන පැවැත්වූ අතර, 2017 අගභාගයේ සිට ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් පොලිස්පතිවරයා දැනුවත් කළ බව ද ඔහු සඳහන් කළේය. 

(උපුටා ගැනීම් හා ඡයාරූප -බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්