අගමැති මහින්ද රාජපක්ෂ අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන නැති බවක් ඔහුගේ ඇතැම් ප්‍රකාශවලින් පැහැදිලිවන බව රාජපක්ෂවරුන්ට පක්ෂපාත 'ජාතික සංවිධාන' පවසති.
ජනතාව විසින් තුනෙන් දෙකේ බලය ලබාදුන්නේ නැති නම් තමා එය පාර්ලිමේන්තුවේදී හදාගන්නා බවට අගමැති මහින්ද රාජපක්ෂ විසින් සිදු කළා යැයි කියන ප්‍රකාශය පිළිබඳව 'ලංකා ලීඩ්' විසින් ජාතික සංවිධාන වල මතය විමසනු ලැබූ අවස්ථාවේ දී වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙසේ සඳහන් කර ඇත.
” ඔය කියන ප්‍රකාශය ඇත්තටම අගමැතිතුමා විසින් කළානම් අපි බලවත් කම්පාවට පත්වෙනවා. ඒ මඟින් පොහොට්ටුවට ඡන්දය දුන් ජනතාවට ” කොකා පෙන්වීමක් ” සිදු වෙනවා. උඹලා දුන්නත් නැතත් අපි ගන්නවා කියලද ඒ කියන්නේ. ඒක බරපතල ප්‍රකාශයක්. අපට හිතෙනවා එතුමා අතීතයේ වැරදි වලින් පාඩම් ඉගෙන ගන්නේ නැහැ කියලා.
රනිල්, සජිත්, සම්බන්ධන් යන කුමන පිලෙන් උදව් අරගෙන ජාතික ආණ්ඩු හදලා තුනෙන් දෙක ගත්තත් ඒ බලය අවසානයේදී බෙදුම්වාදී ජාතිවාදී බලවේග වල උවමනාව වෙනුවෙන් යොදා ගන්නා බවට අපිට නම් කිසිඳු සැකයක් නැහැ. මහින්ද මහත්තයාලා ජනතාවගෙන් තුනෙන් දෙක ඉල්ලුවට ඒක ලබාගෙන හරියටම මොනවද කරන්නේ කියලා කිව්වෙ නැහැ. දැන් ජනතාවට දොස් කියලා සතුරාට ගොදුරු වීම බරපතල වරදක්. ”







