අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (21) පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමිනි.
2015 වසරේදී භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් විසින් ජාතික කලාභවනේ චිත්‍ර හා මූර්ති සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් සිදුකර ඇති අතර, අදාළ සිතුවම් අතුරුදන්වීම පිළිබඳ තොරතුරු ප්‍රථම වරට අනාවරණය වී ඇත්තේ එම සමීක්ෂණයෙන් අනතුරුව බව අමාත්‍යවරයා පැවසීය.
ජාතික කලාභවනේ නිල තොග පොතට අනුව එහි තිබිය යුතු මුළු සිතුවම් සංඛ්‍යාව 281ක් වුවද, මේ වන විට පවතින්නේ සිතුවම් 239ක් පමණක් බව ද ඔහු සඳහන් කළේය.
ඒ අනුව මෙරට කලා උරුමයට අයත් වටිනා සිතුවම් 42කට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ඉදිරියේදී අපරාධ පරීක්ෂණයක් මගින් නිශ්චිතව අනාවරණය කර ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එම සිද්ධියට අදාළ වැඩිදුරටත් තොරතුරු
1. අතුරුදන් වීම අනාවරණය වූ ආකාරය
මෙම සිතුවම් අතුරුදන් වීම මෑතකදී සිදුවූවක් නොවන අතර, ඒ පිළිබඳ මුලින්ම තොරතුරු අනාවරණය වී ඇත්තේ 2015 වසරේදීය.
එවකට සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පරිදි ජාතික කලාභවනේ චිත්‍ර හා මූර්ති පිළිබඳ විශේෂ භාණ්ඩ සමීක්ෂණ (තොග සත්‍යාපන) මණ්ඩලයක් මගින් පරීක්ෂණයක් පවත්වා තිබේ.
එහිදී කලාභවනේ නිල තොග පොතෙහි (Stock Book) සිතුවම් 281ක් ලියාපදිංචි වී තිබුණ ද, භෞතිකව පරීක්ෂා කිරීමේදී එහි ඉතිරිව තිබී ඇත්තේ සිතුවම් 239ක් පමණි. ඒ අනුව සිතුවම් 42ක අඩුවක් පවතින බව නිල වශයෙන් තහවුරු විය.
2. වත්මන් විමර්ශන කටයුතු
මෙම වටිනා කලා නිර්මාණ අස්ථානගත වීම සම්බන්ධයෙන් දැනට පියවර කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මකය:
අමාත්‍යාංශ මට්ටමින්:
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විශේෂ කමිටුවක් පත් කර මූලික විමර්ශන ආරම්භ කර ඇති අතර, මේ වනවිටත් අදාළ පුද්ගලයන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම් සිදු කෙරේ.
පොලිස් විමර්ශන:
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය (CCDB) මගින්ද වරින් වර විමර්ශන පවත්වා ඇති අතර, අමාත්‍යවරයා විසින් 2024 සහ 2025 වසරවලදී ද මේ පිළිබඳව පොලිසියට තොරතුරු ලබා දී තිබේ.
ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ජාතික කලාභවන දීර්ඝ කාලයක සිට වසා දමා තිබීම හේතුවෙන් මෙරට කලාකරුවන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටී. මේ පිළිබඳවද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.
මීට පෙර ප්‍රතිසංස්කරණ සඳහා "ජෝන් ද සිල්වා" රඟහලට වෙන් කර තිබූ ප්‍රතිපාදනවලින් කොටසක්, කලාභවනේ වැඩකටයුතු කඩිනම් කිරීම සඳහා වත්මන් අමාත්‍යවරයා විසින් කැබිනට් අනුමැතිය හරහා ජාතික කලාභවන වෙත පවරාගෙන ඇත.
මොරටුව විශ්වවිද්‍යාලයේ උපදේශකවරුන්, කොන්ත්‍රාත්කරුවන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය ඇතිව දැනට ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කෙරේ.
(සටහන | ගිම්හාන් ද සිල්වා)




