leader s

ආසියානු සංවර්ධන බැංකුවේ සහන ණය පහසුකම් යටතේ ජාතික සම්ප්‍රේෂණ ජාලය සහ පුනර්ජනනීය බලශක්ති අවශෝෂණය බලගැන්වීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි


බස්නාහිර පළාතේ නාගරික හා කාර්මික විදුලි ඉල්ලුම ආවරණය කරමින් 2028 වන විට සමස්ත පද්ධතියම ශක්තිමත් කිරීමට සැලසුම්


හෝමාගම ග්‍රිඩ් උපපොළ සහ ව්‍යාපෘති ආරම්භය

ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල සම්ප්‍රේෂණ ජාලය ශක්තිමත් කිරීම සහ පද්ධතියට පුනර්ජනනීය බලශක්තිය වැඩිවශයෙන් අවශෝෂණය කරගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන "බලශක්ති පද්ධතිය බලගැන්වීමේ සහ පුනර්ජනනීය බලශක්ති අවශෝෂණය කිරීමේ ව්‍යාපෘතියේ" (Power System Strengthening and Renewable Energy Integration Project - Package 1B) පළමු පියවර ලෙස හෝමාගම 132/33 kV ග්‍රිඩ් උපපොළේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් අද ආරම්භ විය.

බලශක්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක ගේ ප්‍රධානත්වයෙන් හෝමාගමදී මෙම මංගල පස් පිඩැල්ල කැපීමේ උත්සවය පැවැත්විණි.

බස්නාහිර පළාතේ සීඝ්‍ර නාගරීකරණය මෙන්ම වර්ධනය වන කාර්මික, වාණිජ සහ නේවාසික විදුලි ඉල්ලුමට සමගාමීව ඉදිකෙරෙන මෙම හෝමාගම ග්‍රිඩ් උපපොළේ කටයුතු 2028 වසර වන විට ඉදිකර අවසන් කිරීමට කාලසටහන්ගත කර ඇත.


        ඩොලර් මිලියන 328.25ක විදුලි සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යුහය    

| අරමුදල් මූලාශ්‍රය: ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහනදායී ණය පහසුකම

| ප්‍රධාන ආයතන: ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයුම්කරු (NTNSP), ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) සහ LECO       

| පැකේජය 1A සහ 1B:මීරිගම (220/33 kV), පෑලියගොඩ (132/33 kV), හෝමාගම සහ මීගමුව (132/33 kV) ග්‍රිඩ් උපපොළවල්   

| සම්ප්‍රේෂණ සහ කේබල්: කිලෝමීටර 78ක හම්බන්තොට-මාතර 132 kV මාර්ගය සහ කැලණිය-පෑලියගොඩ භූගත කේබල් පද්ධතිය 

| තාක්ෂණික අංග: ජාල-පරිමාණ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) සහ පුනර්ජනනීය බලශක්ති මධ්‍යස්ථානය       


ආසියානු සංවර්ධන බැංකු ආයෝජනය සහ සමස්ත පැකේජය

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහනදායී ණය පහසුකම් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 328.25ක ආයෝජනයකින් ක්‍රියාත්මක වන මෙම සමස්ත වැඩසටහන පැකේජ කිහිපයකින් සමන්විත වේ.

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණවලට අනුකූලව, විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගම් වන ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයුම්කරු (NTNSP), ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) සහ ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) එක්ව මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි.

මෙහි 1A පැකේජය යටතේ මීරිගම සහ පෑලියගොඩ GIS ග්‍රිඩ් උපපොළවල් ඉදිකිරීමට නියමිත අතර, 1B පැකේජයට හෝමාගම සහ මීගමුව AIS ග්‍රිඩ් උපපොළවල් ඇතුළත් වේ.

ඊට අමතරව 2 වන පැකේජය මගින් කිලෝමීටර 78ක් දිගැති හම්බන්තොට-මාතර 132 kV ද්විත්ව පරිපථ සම්ප්‍රේෂණ මාර්ගය ඇතුළු ප්‍රධාන සම්ප්‍රේෂණ ජාල සංවර්ධනය කෙරෙන අතර, 4 වන පැකේජය යටතේ කැලණිය-කොටුගොඩ මාර්ගයේ සිට පෑලියගොඩ දක්වා කිලෝමීටර 2ක භූගත කේබල් පද්ධතියක් ස්ථාපනය කෙරේ.

අනාගත බලශක්ති කළමනාකරණය උදෙසා ජාල-පරිමාණ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) සහ විශේෂිත පුනර්ජනනීය බලශක්ති මධ්‍යස්ථානයක් පිහිටුවීම ද මෙහි අඩංගු සුවිශේෂී තාක්ෂණික මෙවලම් වේ.

පද්ධති ස්ථාවරභාවය සහ අනාගත බලශක්ති ඉලක්ක

මෙම දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනය හරහා ජාතික විදුලිබල පද්ධතියේ සැපයුම් විශ්වාසනීයත්වය ඉහළ නැංවීම, වෝල්ටීයතා ගැටලු අවම කිරීම සහ මෙහෙයුම් ස්ථාවරභාවය තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.

විශේෂයෙන්ම, ඉදිරි වසරවලදී පද්ධතියට එක් කිරීමට නියමිත සූර්ය සහ සුළං වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කිසිදු තාක්ෂණික බාධාවකින් තොරව ජාතික ජාලයට සම්බන්ධ කරගැනීමට මෙමගින් ශක්තිමත් පදනමක් සැකසේ.

ආරම්භක උත්සව අවස්ථාවට ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම්කරු සමාගමේ සභාපති නුසිත් කුමාරතුංග, අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී එන්.එස්. වෙත්තසිංහ ඇතුළු බලශක්ති අමාත්‍යාංශයේ සහ විදුලිබල ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

බස්නාහිර පළාතේ සංවර්ධන කලාපයන්හි කාර්මික, වාණිජ සහ සංචාරක ක්ෂේත්‍රවල වර්ධනයට අවශ්‍ය ස්ථාවර විදුලි සැපයුමක් ලබාදීමට මෙම ව්‍යාපෘතිය දීර්ඝකාලීන පදනමක් සපයනු ඇත.

 ncbcbrwe

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්