ඒකාබද්ධ විපක්ෂයේ හා පොහොට්ටුවේ දේශපාලන තීන්දු තීරණවලට බලපෑම් කිරීම සඳහා ආචාර්ය නලින් ද සිල්වා ප්‍රමුඛ 'ජාතික චින්තන' කණ්ඩායම

මේ වනවිට දැඩි උත්සහයක් දරමින් සිටින අතර ඔවුන් ඒ සඳහා විපක්ෂයේ බලවේග ආමන්ත්‍රණය කරමින් රටපුරා පුළුල් ප්‍රචාරක මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින ඔවුන් පිරිස ඒ සඳහා මහින්ද රාජපක්ෂගේ හෝ බැසිල් රාජපක්ෂගේ අනුමැතියක් අවශ්‍ය නොවන බවද පවසා සිටියි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තෝරාගෙන ඇති එකම අපේක්ෂකයා ගෝඨභය රාජපක්ෂ බව ආචාර්ය නලින්ද සිල්වා මහතා අවධාරණය කරයි.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ 'ජාතික සමතා බලවේගය' පෙරේදා (19) කොළඹ 07 හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේ දී කැදවා තිබූ විශේෂ නියෝජිත සමුළුවට එක්වෙමිනි.

“මහින්දගෙන් හැමදාම අහනවා අපේක්ෂකයා කවුද කියලා ගෝඨාභය එනවාද කියලා. මහින්ද පස්සේ කියන්නම් කියනවා. පස්සේ කියන්න දෙයක් නැහැ අපි තෝරලා ඉවරයි.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

 

සිංහල බෞද්ධ රාජ්‍යයක් වෙනුවෙන් ...

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ”පොහොට්ටුවට අයිතියක් නෑ අපේක්ෂකයා තිරණය කරන්න. මේ රටේ මහා සංඝරත්නය සහ මහජනතාව තීරණය කරලා ඉවරයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බව. හැබැයි ඔහු සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩනගන, ආරක්ෂා කරන අපේක්ෂකයෙක් විය යුතුයි” යන්නය.

වීඩියෝ 

 

'පොහොට්ටුවෙන් නැතත් ගෝඨා ගෙනාවා'

එම සම්මන්ත්‍රණය අමතමින් පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂට පොහොට්ටු වාහනය සූදානම් නැතිනම් තවත් වාහනයක් පස්ස දොරෙන් සූදානම් කර ගත යුතුව ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ යම් සිරකිරීමට ලක්කර එම වාහනයේ වෙනත් පුද්ගලයෙක් නැග ඒමට සූදානම් බවට තොරතුරු ඇති බවද උන්වහන්සේ කියා සිටියහ.

මහාචාර්ය නලින් ද සිල්වා ප්‍රමුඛ කණඩායමේ මෙම ප්‍රචාරක මෙහෙයුමට ජාතික නිදහස් පෙරමුණේ සමාජ මාධ්‍ය සහ ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීරගේ මාධ්‍ය ජාලය හරහා පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින් සිටිති.

 

සියලු අන්තවාදියෝ ගෝඨාභය සමගයි:

Nalin Wimal Udaya 

මේ අතර 'අනිද්දා' පුවත්පතට කෙටි සටහනක් ලියා ඇති අරුණ ජයවර්ධන, සියලු අන්තවාදියෝ ගෝඨාභය සමග බව අවධාරණය කර සිටියි.

ඔහුගේ එම සටහනේ මෙසේ සඳහන් වේ.

''ගෝඨාභය රාජපක්ෂ යම් හෙයකින් රටේ ජනාධිපති වුණොත් ලංකාව කෙබඳු රටක් බවට පත්වේද යන්න දැන් තබාම කිව හැකිය. ඒ ගෝඨාභය වටා එක් රොක් රොක් වී සිටින, එක් රොක් වන පිරිවර ගැන සලකා බැලීමෙනි.

ඊයේ පෙරේදා මාධ්‍ය සාකච්ඡාවකදී බෙංගමුවේ නාලක, ඔමාරේ කස්සප වැනි අන්තවාදී භික්ෂූන් සමග එකට වාඩි වී අදහස් දැක්වූ මහාචාර්ය නලින් ද සිල්වා කිවුවේ, ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් බවට පත් කිරීමේ හැකියාව ඇති එකම තැනැත්තා ගෝඨාභය බවයි.

සුළු ජාතික ඡන්ද පස්සේ යන මහින්ද හෝ බැසිල් රාජපක්ෂට එවැන්නක් කළ නොහැකි බව කී නලින් ද සිල්වා ලංකාව යලින් සිංහල බෞද්ධ රාජ්‍යයක් බවට පත් කිරීම ගෝඨාභයගේ වගකීම බවත් කීවේ.

දැන් පැහැදිළිය. නලින් ද සිල්වා ගෝඨාභයගෙන් ඉල්ලන්නේ සිංහල බෞද්ධ රාජ්‍යයකි. ඒ රාජ්‍ය පාලනයේදී, දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ට ඉඩක් නැත.

පසුගියදා මාධ්‍ය හමුවකට එකතුවුණ ගෝඨාභය පිලේ උදය ගම්මන්පිලද කීවේ, මුස්ලිම් ළමා ජනගහනය වැඩි වෙමින් පවතින බවත් නුදුරු අනාගතයේදී එය සිංහල ළමා ජනගහනය ඉක්මවා යන බවත්ය.

 ගෝඨාගේ මිලිටරි නඩය !

මේ විදිහට සිංහල බෞද්ධ අන්තවාදීන් ගෝඨාභය වටා රොද බඳිමින් සිටින විට, ගෝඨාභය වැඩි ඇසුරක් පවත්වන්නේ හිටපු මිලිටරි නායකයන් සමගය. සිතන්නේ මිලිටරි මනසකින්ය. වැඩකරන්නේ අත්තනෝමතිකවය. අධිකාරී මනසකින් යුතුවය.

ඉතින් අන්තවාදී, මිලිටරිවාදී, අධිකාරිවාදී සහ සිංහල බෞද්ධ පාලනයක් මිස, ගෝඨාභය වැන්නකුගෙන් තවත් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?

එහෙත් රිදී රේඛාව නම්, මේ සියලු අන්තවාදීන් එක්ව ගෝඨාභය ජනාධිපතිවරණයේ නියත පරාජයක් දක්වා කැඳවාගෙන යන බව පෙනීමයි.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image