*ජනපති දුන් පොරොන්දු ඉටු කිරීමට දින පහක සහනයක්; මහවැලි අධිකාරිය නියෝග කඩකිරීමෙන් පිටස්තර ගොවි පවුල් දෙසීයක් තණබිම් අල්ලාගෙනැයි දෙමළ කිරි ගොවීන්ගෙන් චෝදනා.
*දින 1000 ඉක්මවූ අරගලයට නිසි විසඳුම් නොලැබුණහොත් මාරාන්තික උපවාසයකට සූදානම්; මඩකලපුව මයිලත්තමඩු-මාදවනෙයි කිරි ගොවීන්ගෙන් රජයට දැඩි අනතුරු ඇඟවීමක්.
රාජ්‍ය අනුග්‍රහය ලබන ජනපදිකයන්ගෙන් අක්කර දහස් ගණනක තෘණභුමි ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලා තුන් වසරක් තිස්සේ කරන අඛණ්ඩ විරෝධතාවට සාධනීය ප්‍රතිචාරයක් දී ජනාධිපතිවරයා මැයි මාසයේ දුන් පොරොන්දු දින පහක් ඇතුලත ඉටු නොකළොත් මාරාන්තික උපවාසයක් දියත් කරන බවට රජයට අනතුරු අගවමින් මයිලත්තමඩු මාදවනෙයි කිරිගොවීන් විරෝධතාවයක් දියත් කර තිබේ.
මඩකලපුව සිත්තාන්ඩි හන්දියේ 2026 සැප්තැම්බර් 16 වැනි බදාදා වීදි බැසගත් විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ කිරි ගොවීන් සදහා තණ බිම් අක්කර 1500 ට වැඩි ප්‍රමාණයක් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් මහවැලි අධිකාරියට පසුගිය මැයි මාසයේ දී ලබා දුන් නියෝග එම අධිකාරිය විසින් ක්‍රියාත්මක නොකර හැරීමෙන් අලුතින් ගොවි පවුල් දෙසියකට වැඩි ගණනක් එම භුමියේ ගොවිතැන් කටයුතු සදහා මේ වන විටත් මුල පුරා ඇති බවයි.
දින 1095ක අඛණ්ඩ අරගලය සහ ජනපති නියෝගය
2023 වසරේ සැප්තැම්බර් 15 වැනි සිකුරාදා මඩකලපුව සිත්තාන්ඩි පාසල ඉදිරිපිටදී දෙමළ කිරි ගොවීන් මුල් වරට විරෝධතාව ආරම්භ කර තිබුනේ 2023 සැප්තැම්බර් 13 වැනිදා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ගොවි කමිටු රැස්වීමේදී කිරි ගොවීන්ගේ ගැටළුවට විසදුම් ලබා දීමට තමන්ට නොහැකි බව දිස්ත්‍රික් ලේකම් කමලාවතී පද්මරාජා පැවසීමෙන් පසුවයි.
එදින සිට දින 1095 ක් තිස්සේ කිරි ගොවීන් දියත් කරන විරෝධතාවයට නායකත්වය සපයන මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවි සමිතියේ සභාපති සීනිතම්බි නිමලන් 2026 සැප්තැම්බර් 16 වැනි බදාදා දියත් කළ විරෝධතාව වාර්තාකරන මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කර සිටියේ කිරි ගොවීන්ගේ ඉඩම් නිදහස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ලබා දුන් නියෝගය මහවැලි සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාවේ යෙදවීම පැහැර හරිමින් සිටින බවයි.
"අපේ ජනාධිපති මඩකලපුව දිස්ත්‍රික්කයට ඇවිත්, පස්වෙනි මාසයේ 20 වැනිදා දුන්න පොරොන්දුව ක්‍රියාත්මක කරන්නේ නැතිව මේ ජනාධිපතිගේ පොරොන්දුව ඇදගෙන යන විදිහට මේ බලධාරින් කටයුතු කරගෙන ඉන්නවා. අපිත් නැතින් තැන, මහවැලි සංවර්ධන අධිකාරිය වගේ හැම තැනකටම ගිහින් බැගෑපත් වෙලා ඔයාලා මේ දෙන්නම්, 15 වැනිදාට කලින් කරලා දෙන්නම්, 10 වැනිදාට කලින් කරලා දෙන්නම් කියලා කිව්වා. අපිත් ඒක බාරගෙන තමයි දවස් දහසක් අවිහිංසා මාර්ගයේ හිටියේ."
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ 2026 මැයි මස 20 වැනිදා මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවීන් සදහා අක්කර 1570 ක් නිදහස් කරන ලෙස මහවැලි සංවර්ධන අධිකාරියට නියෝග කළත් මේ දක්වාම ඔවුන් ඒ වෙනුවෙන් පියවර ගෙන නොමැති බවයි.
මහවැලි නිහඬතාව අස්සේ අලුත් පදිංචිකරුවන්ගේ ආක්‍රමණයක්
මයිලත්තමඩු මාදවනෙයි සාම්ප්‍රදායික කිරි ගොවියන් වසර ගණනාවක සිට සිය ගවයන්ට තණ කැවීම සදහා අක්කර 7700 ට අධික තෘණ භුමියක් භාවිතයට ගෙන තිබේ. එම භුමියෙන් ඉඩම් අක්කර 4000 ට ආසන්න ප්‍රමාණයකට මහවැලි සංවර්ධන අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හිමිකම් කියන අතර කිරි ගොවීන් ඉල්ලා සිටින්නේ ඉතිරි අක්කර 3500 ට වැඩි ප්‍රමාණය තෘණ භුමි ලෙස ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙසයි.
මඩකලපුව සිත්තාන්ඩි හන්දියේදී 2026 සැප්තැම්බර් 16 වැනි බදාදා දියත් කළ උද්ඝෝෂණය අතරතුරදී මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවි සමිතියේ සභාපති සීනිතම්බි නිමලන් වැඩි දුරටත් කියා සිටියේ ජනපතිවරයාගේ නියෝගය මහවැලි සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා සිංහල ප්‍රදේශවලින් පැමිණි ගොවි පවුල් 200 ට වැඩි පිරිසක් තණ බිම් එළි පෙහෙලි කරමින් මේ වන විටත් ගොවිතැන් කටයුතු සදහා මුල පුරා ඇති බවයි.
"මේ අවුරුද්දේ මැයි අන්තිම හරියේ නැත්නම් ජූනි පළවෙනි සතියේ ඉඳලා ටිකෙන් ටික බහුතර ජනතාව මෙතැනට ඇවිල්ලා පැල්පත් හදාගෙන පදිංචි වෙලා, කැලෑ කපලා ගොවිතැන් කරන්න සී සෑම පටන් අරගෙන තියෙනවා.දැනට පවුල් 200–300ක් විතර මෙතැනට ඇවිල්ලා තියෙනවා. මේ තණබිම් ප්‍රදේශයේ වැඩි කොටසක් දැන් එයාලා අල්ලාගෙන තියෙනවා. මේ අය දෙහිඅත්තකණ්ඩිය, වැලිකන්ද, පොළොන්නරුව, අරලගංවිල වගේ ප්‍රදේශවලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ අය පැළ හිටවන්න කලින් මේක නවත්තන්න ඕනේ. නැත්නම් ඉස්සරහට ගවයන්ට තණ කන්න තණබිම් ඉතුරු වෙන්නේ නැහැ."
කිරි ගවයන් ඝාතනය සහ සැලසුම් සහගත ආර්ථික හානිය
පිට පළාත් වලින් පැමිණ තෘණ භුමි තුළ ගොවිතැන් කටයුතු කරන සිංහල ගොවීන් කිරි දෙනුන් ඝාතනය කර මස් පිනිස අලෙවි කරමින් සැලසුම් සහගත ලෙස කිරි ගොවීන්ගේ ආර්ථිකයට මරු පහරක් එල්ල කරමින් සිටින බවට විරෝධතාවයට එක්ව සිටි සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන සභාරත්නම් ශිවයෝගනාදන් චෝදනා කළේය.
"ඇත්තටම මේ දිස්ත්‍රික්කයෙන් දවසකට ලීටර් 35,000 ඉඳන් ලීටර් 45,000ක් වෙනකම් කිරි මේ දිස්ත්‍රික්කයෙන් පිට දිස්ත්‍රික්කවලට අරන් යනවා. ඒ විතරක් නෙවෙයි. සියයට 100ක් මස් විදිහට, මේ ගව මස් භාවිතයට ගන්නවා. මේක රජයේ කිසිදු මැදිහත්වීමක් නැතිව ස්වභාවිකව සිදු වෙනවා. ඒක විනාශ කරන විදිහට මේක ජාතිවාදී ක්‍රියාවක් විදිහට දෙමළ ජනතාවගේ කිරි ගවයින් කියන එකම හේතුව නිසා ඒ ගවයින් විනාශ කරන්න ඔන කියන කේන්තියෙන් නීතියට පිටින් ඒ සතුන්ගේ කෑම විදිහට තියෙන තණ බිම් ගිනි තියෙනවා. මේක සැලැසුම් කරලා කරන වර්ග සංහාරයක දිගුවක් විදිහට කරන ක්‍රියාවක් විදිහට මේ ජනතාවගේ ආර්ථිකය බිඳ දැමීමෙන් ඒ අය ඒ පැත්තට යන එක වළක්වලා, ඒ භූමි ආක්‍රමණය කරලා මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට ඇතුළත් කරලා මහජාතියට අයත් ජනතාවට ඒ ඉඩම් ලබා දෙන කපටි නාඩගමක් තමයි මේ මහවැලි බී සංවර්ධන කලාපය."
2011 සිට ගවයන් 5700ක් බිලිගෙන; කිසිදු වන්දියක් නෑ
දෙමළ කිරි ගොවීන් මුහුණ දී සිටින හිංසාකාරී තත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හමුවේ කරුණු හෙළි කළ ඉලංකෙයි තමිල් අරසු කච්චි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් වැඩි දුරටත් කියා සිටියේ 2011 වසරේ සිට මේ දක්වා කිරි ගවයන් 5700 ක් පමණ ඝාතනය කර ඇති බවයි. ඒ සදහා කිසිදු වන්දියක් කිරි ගොවීන් වෙත ලැබී නොමැති බවත් දෙමළ ජනතා නියෝජිතයා එහිදි වැඩි දුරටත් සදහන් කළේය.
"අඩුම තරමින් එක්ලක්ෂ විසිපන්දහසක් කිරි ගවයින් මේ පැත්තේ ඉන්න ජනතාවගේ ගවයින් මයිලත්තමඩු - මාදවනෛ ප්‍රදේශයේ ඇති කරනවා. මේකෙන් අඩුම තරමින් ගොවීන් 982 දෙනෙක් මේ ගොවිපළ කරගෙන ඉන්නවා. මේ ගොවීන් මත යැපෙන පවුල් තුන්දහසකට වැඩිය තියෙනවා. මීට වඩා යුද්ධයෙන් පස්සේ කාලය, හරියට කියනවා නම් 2011ටත් 2026ටත් අතර කාලයේ මේ වෙනකම් 5700 ගවයින් මරලා දාලා තියෙනවා. පිච්චුන තුවාල එක්ක තවත් කැපුම් තුවාල එක්ක මේ ගවයින්ව මරලා දාලා තියෙනවා. මේ අහිමිවීම්වලට කිසිම වන්දියක් ගෙවලා නැහැ. ඒ නිසා අපි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට විසඳුමක් ඉල්ලුවත්, අපිට උත්තර දෙන්නේ ප්‍රචණ්ඩව. ඒ විතරක් නෙවෙයි මේ වෙනකල් කිරිගොවියන් 10 දෙනෙක් විතර ගස් බැඳලා ගහලා තියෙනවා. එහෙම නැත්නම් එයාලාගේ පැත්තට එක්කගෙන ගිහින් ගහලා තියෙනවා. එහෙම නැත්නම් හිංසා කරලා තියෙනවා."
ගැටලුවේ මුල සහ ගැසට් පත්‍රයක් පිළිබඳ ඉල්ලීම
මඩකලපුව, මයිලත්තමඩු, මාදවනෙයි ප්‍රදේශයේ පිහිටි තෘණ භුමිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැගෙනහිර ආණ්ඩුකාරධුරය සඳහා පත් කරන ලද වියත් මග ක්‍රියාකාරිණි අනුරාධා යහම්පත් විසින් ඒ සමයෙහි පදිංචි කළ සිංහල පවුල් 150 ට පමණ බඩ ඉරිඟු ඇතුළු බෝග වගා කිරීම සඳහා පවරා දීමත් සමග පාරම්පරිකව කිරි ගවයන් පාලනය කරන්නන් සහ වගාකරුවන් අතර පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම ගැටුම් ඇති වී තිබුනි.
කිරි ගොවීන් වසර තුනක පමණ කාලයක සිට පෙන්වා දී තිබුනේ ගවයන්ට කැවීම සඳහා භාවිත කළ අක්කර 6000 ක භුමියෙන් සරුසාරෙට තණකොළ වැවෙන අක්කර 2500 ට වැඩි ප්‍රදේශයක් සිංහල ගොවීන් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින බවයි.
දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව සිදු කළ අරගලයේ ප්‍රතිළුලයක් ලෙස සිංහල ගොවීන් කිහිප දෙනකු එම භුමියෙන් ඉවත්ව ගිය ද කිරි ගවයන්ට තණ කෑම සදහා වෙන්කර තිබෙන භුමිය ගැසට් පත්‍රයක් මගින් මෙතෙක් පවරා නොදීම නිසා යලිත් වරක් සුපුරුදු පරිදිම තමන් සිංහල ගොවීන්ගේ ආක්‍රමණයට මුහුණ දී සිටින බව මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවි සමිතියේ සභාපති සීනිතම්බි නිමලන් වැඩි දුරටත් අවධාරණය කරයි.








