*යාපනය දූපත් කලාපයේ ස්ථාන පහක සමූහ මිනීවළවල් ගැන කළ පැමිණිල්ලට වසරක් පිරුණත් සම්පූර්ණ වාර්තාව නොවැම්බරය දක්වා පමාවෙයි.
*මණ්ඩතිව් ළිඳක මළ සිරුරු 60ක් ඇති බවට ඇසින් දුටු සාක්ෂි තිබියදීත්, පොලිස් පරීක්ෂණ දිග්ගැස්සීම ගැන ප්‍රදේශවාසීන්ගෙන් සහ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි අප්‍රසාදය.
යාපනයේ දුපත් කලාපයේ ඇති බවට වසරකට ඉහතදී පැමිණිලි ලැබී ඇති සමුහ මිනී වළවල් මාලාවක් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා පොලීසිය තව දුරටත් කල් ඉල්ලා තිබේ.
තිස් හය වසරකට ඉහතදී අතුරුදහන් කරන ලද සිය ඥාතීන් වල දමා ඇති කයිට්ස්, අරාලි හන්දිය, මන්කුම්බාන් ගණ දෙවි කෝවිල අසල, අල්ලෙයිපිට්ටි සහ මණ්ඩතිව් යන ස්ථාන පහේ කැනීම් සිදුකර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස වින්දිත පවුල්වල සාමාජිකයන් කයිට්ස් පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබුනේ 2025 අගෝස්තු මාසයේදීය.
පුද්ගලයන් හත් දෙනකුගෙන් ලබා ගත් ප්‍රකාශ ඇතුලත් වාර්තාවක් 2026 මාර්තු 31 වැනිදා කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ යාපනය දිස්ත්‍රික් අපරාධ නිවාරණ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා එදින ද අධිකරණයෙන් තවත් කාලය ඉල්ලා තිබුනි.
පොලිස් වාර්තා අනවශ්‍ය පරිදි කල් දැමීමත්, අධිකරණ කටයුතු ප්‍රමාදයට හේතුවන බව සිවිල් ක්‍රියාධරයන් විසින් පෙන්වා දී තිබේ.
නඩුව නොවැම්බර් 10 දක්වා කල් යයි
වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන් පවසන්නේ එම නඩුව 2026 සැප්තැම්බර් 22 වැනිදා විභාගයට ගත් අවස්ථාවේදිද විමර්ශන කටයුතු තවමත් අවසන් කර නොමැති බැවින් ඒ සදහා පොලීසිය තව දුරටත් අධිකරණයෙන් කාලය ඉල්ලා සිටි අතර නඩුව නොවැම්බර් 10 වැනිදාට කල් තැබීමට කයිට්ස් මහේස්ත්‍රාත් අනීෆා රජීව් නියෝග කළ බවයි.
මෙම නඩුව ගොනු කර වසරක් ගත වී තිබුණද, විමර්ශන කටයුතු තවමත් අවසන් කර නොමැති බවට පොලීසිය සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන් මාධ්‍යවේදීන් හමුවේ සිය කනස්සල්ල පළ කර තිබුනි.
මණ්ඩතිව් ළිඳේ සිරුරු 60ක් සහ අතුරුදහන් වූ 84 දෙනා
යාපනයේ, මන්ඩතීව් වතු ඉඩමේ ළිඳක පමණක් මළ සිරුරු හැටකට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බව වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වමිනාදන් පිරකලාදන් 2025 අගෝස්තු 20 වැනිදා හෙළි කර තිබුනි. ඒ ළිඳේ දමා ඇති බවට විශ්වාස කෙරෙන සිරුරු සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකාරියක් තවමත් ජීවතුන් අතර සිටින අතර ඔහු එදින වැඩි දුරටත් හෙළි කළේය.
තිස් හය වසරකට ඉහතදී රජයේ හමුදා විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමක් ගැන ද සිහිපත් කළ ප්‍රාදේශීය සභිකයා අවධාරණය කර තිබුනේ එදින හමුදා විසින් සිය භාරයට ගන්නා ලද අය අතුරින් 84 දෙනකුට අත් වු ඉරණම සම්බන්ධයෙන් මේ තාක් කිසිදු තොරතුරක් නොමැති බවයි. හමුදාව සිය භාරයට ගත් අයගෙන් පිරිසක් ඝාතනය කර ළිංවලට දැමු බව ස්වාමිනාදන් පිරකලාදන් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා එදින තව දුරටත් හෙළි කර තිබුනි.
නීතිඥ හර්ෂණ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩ සටහනකට එක් වෙමින් පසු ගිය වසරේ මුල් වරට හෙළි කර තිබුනේ මේ වනවිට ශ්‍රී ලංකාවේ සමූහ මිනීවලවල් 17ක් හමුවී ඇති බවයි. කෙසේ වෙතත්, මානව හිමිකම් ක්‍රියාධාරීන් පෙන්වා දෙන පරිදි සිරිලක් දෙරණ පුරා සමූහ සුසාන විශාල සංඛ්‍යාවක් විසිරී පවතී.







