* "අන් අයගේ වැදගත්කම අඩු කර තම වැදගත්කම පෙන්වන්න එපා" – බෞද්ධ දර්ශනය සිහිපත් කරමින් විපක්ෂ නායකවරයාගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි
* සැප්තැම්බර් 17 ඇති කරගත් එකඟතාවලට පරිබාහිරව සජබ කළ ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිඥ සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ අවධානය
විපක්ෂයේ ඒකාබද්ධ වේදිකාවේ අභ්‍යන්තර අර්බුදයක්
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව විපක්ෂ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව ගොඩනැගීමට උත්සාහ කළ පොදු මහජන වේදිකාවේ ඇති කරගත් මූලික එකඟතාවන් බිඳවැටී ඇති බවට චෝදනා කරමින් 'ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය' විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කර තිබේ.
පොදු අරමුණක් වෙනුවෙන් විවිධ පාර්ශ්ව එක්වන අවස්ථාවක, එක් පාර්ශ්වයක වැදගත්කම තහවුරු විය යුත්තේ අනෙක් පාර්ශ්වයන්ගේ කාර්යභාරය අවතක්සේරු කිරීමෙන් නොවන බව අවධාරණය කරමින් ප්‍රශ්න 05කින් සමන්විත මෙම ලිපිය යොමු කර ඇත.



සැප්තැම්බර් 17 සම්මුතිය සහ 24 විරෝධතාව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුලන හා සංවරණ පද්ධතිය, නීතියේ ආධිපත්‍යය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් විපක්ෂ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති පොදු එකඟතාවකට ගෙන ඒමට නිදහස් සටන් මධ්‍යස්ථානය මැදිහත් වූ බව අදාළ ලිපියේ දැක්වේ.
එම වැඩපිළිවෙළ යටතේ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සමඟ මූලික සාකච්ඡා පවත්වා ඇති අතර, සැප්තැම්බර් 17 වන දින පැවති ඒකාබද්ධ නියෝජිත හමුවට සජබ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ මුජිබර් රහුමාන් යන මහත්වරු සහභාගී වී තිබේ. එහිදී එළඹි එකඟතාව වූයේ "22 ජන බලයෙන් පරදවමු" යන තේමාව යටතේ කිසිදු තනි පක්ෂයකට සීමා නොවූ පොදු මහජන ක්‍රියාමාර්ගයක් සැප්තැම්බර් 24 දින ක්‍රියාත්මක කිරීමයි.
මතභේදයට තුඩුදුන් මාධ්‍ය හමුව
එසේ තිබියදී, සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ සංවිධායකවරයෙකු විසින් මෑතකදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී අනෙකුත් විපක්ෂ දේශපාලන කණ්ඩායම්, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධානවල සහභාගීත්වය අවතක්සේරු වන අන්දමේ ප්‍රකාශ සිදු කර ඇති බව නිදහස් සටන් මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
මෙමඟින් පොදු ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට හානි සිදුවන බව පෙන්වා දෙන එම සංවිධානය, අදාළ ප්‍රකාශ පක්ෂයේ නිල ස්ථාවරය නියෝජනය කරන්නේද යන්න පිළිබඳව විපක්ෂ නායකවරයාගෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරයි.
විපක්ෂ නායකවරයා වෙත ඉදිරිපත් කළ ප්‍රශ්න 5
අදාළ ලිපිය මඟින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙන් කරුණු 5ක් සම්බන්ධයෙන් වහා අවධානය යොමු කරන ලෙස ඉල්ලා ඇත:
1- අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් කරුණු සොයා බලා පක්ෂයේ නිල ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීම.
2- එම ප්‍රකාශ පක්ෂයේ මතය නොවේ නම්, සැප්තැම්බර් 17 ඇති කරගත් එකඟතාවන්ට පක්ෂය දක්වන කැපවීම තහවුරු කිරීම.
3- සැප්තැම්බර් 24 විරෝධතාව තනි පක්ෂයක වැඩසටහනක් නොව, සියලු පාර්ශ්වයන්ට සමාන ගෞරවයකින් යුතුව එක්විය හැකි පොදු වේදිකාවක් ලෙස පවත්වා ගැනීම.
4- අනෙකුත් පාර්ශ්වයන්ගේ දේශපාලන අනන්‍යතාව හා දායකත්වය අවතක්සේරු නොවන අයුරින් පක්ෂ අභ්‍යන්තර මඟපෙන්වීම ලබාදීම.
5- 22 වන සංශෝධනයෙන් ඔබ්බට ද ප්‍රජාතන්ත්‍රවාදය සහ ආයතනික ස්වාධීනත්වය වෙනුවෙන් විපක්ෂයේ බලවේග අතර සමාන පදනමකින් යුතු සංවාදයක් පවත්වා ගැනීමට අවශ්‍ය දේශපාලන පරිසරය නිර්මාණය කිරීම.
"අත්තුක්කංසන - පරවම්භන" බෞද්ධ දර්ශනයෙන් ආදර්ශයක්
විපක්ෂ නායකවරයා නිරන්තරයෙන් බෞද්ධ දර්ශනයේ මූලධර්ම උපුටා දක්වන නායකයෙකු බැවින්, බුදුදහමේ සඳහන් "අත්තුක්කංසන - පරවම්භන" හෙවත් 'තමන් උසස් කරමින් අනෙකා පහත් කිරීමෙන් වැළකීමේ' වැදගත්කම මෙම ලිපිය මඟින් ඔහුට සිහිපත් කර දී තිබේ.
අද දවසේ අවශ්‍යතාව වන්නේ එක් පක්ෂයක් අනෙක් පක්ෂවලට වඩා විශාල කර පෙන්වීම නොව, සියලු පක්ෂවලට වඩා ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන අයිතිවාසිකම් ඉදිරියට තැබීම බවත්, මෙම පියවර කිසිවෙකු අපහසුතාවට පත් කිරීමේ අරමුණින් නොව පොදු එකඟතාවයේ විශ්වසනීයත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සිදුකරන ලද ආයාචනයක් බවත් එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.
මෙම ලිපිය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, දීප්ති කුමාර ගුණරත්න, රවී කුමුදේශ්, නීතිඥ නන්ද මුරුත්තෙට්ටුවේගම, සමන් රත්නප්‍රිය ඇතුළු නියෝජිතයෝ පිරිසක් අත්සන් තබා ඇත.







