* සවුදි රජුගෙන් ක්ෂමාදානය ඉල්ලා උතුරේ පහන් දල්වයි
* මාලදිවයින් හිටපු ජනාධිපති නෂීඩ්ගෙන් පූර්ණ මානුෂීය සහාය; සවුදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට අභියාචනයක්.
සමාජ මාධ්‍ය සටහනක් පදනම් කරගනිමින් සවුදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින 26 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකු වන ශිවරාසා අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමේ නීතිමය සහ රාජ්‍යතාන්ත්‍රික ප්රයත්නය මේ වන විට තීරණාත්මක අදියරකට එළඹ තිබේ.
යාපනයේදී ඉටිපන්දම් දල්වා රාජකීය සමාව අයැදියි
මේ අතර, අනෝජන්ගේ ජීවිතය රැකදෙන ලෙස සවුදි රජුගෙන් සහ එරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමින් යාපනයේදී ඉටිපන්දම් දල්වා සාමකාමී විරෝධතාවක් පැවැත්විණි. සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, ප්‍රදේශවාසීන් සහ ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම විරෝධතාවේදී ඔවුන් අවධාරණය කළේ, සිදුවූ වරද කෙරෙහි සානුකම්පිතව සලකා බලා තරුණයාට රාජකීය ක්ෂමාදානය පිරිනමන ලෙසයි.
නැගෙනහිර පළාතේ නාර්පිට්ටිමුනෙයි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අනෝජන්ට මුලින් වසර 5ක සිරදඬුවමක් සහ රියාල් මිලියන 3ක දඩයක් නියම වී තිබුණද, පසුව සවුදි අභියාචනාධිකරණය මඟින් එය මරණ දඬුවම දක්වා ඉහළ නංවා ඇති බවට තොරතුරු වාර්තා විය.
(iMage: Kumanan Knapathipillei)
(iMage: Kumanan Knapathipillei)
මාලදිවයින් හිටපු ජනාධිපති නෂීඩ්ගේ මානුෂීය සහාය
මෙම මෙහෙයුමේ මූලික පියවරක් ලෙස ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම යන ජනාධිපති නීතිඥවරුන් දෙපළ මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මාලදිවයිනේදී හමුවී අදාළ නීතිමය සහ මානුෂීය පසුබිම පිළිබඳව කරුණු පැහැදිලි කර දී තිබේ.
එම සාකච්ඡාවේදී අදහස් දක්වා ඇති හිටපු ජනාධිපති නෂීඩ් පවසා ඇත්තේ, අනෝජන්ගේ ප්‍රකාශය මුස්ලිම් සමාජය තුළ සංවේදී ගැටලුවක් මතු කළද, අසරණ තරුණයකුගේ ජීවිතය වෙනුවෙන් තමන් මානුෂීය පදනමින් පෙනී සිටින බවයි. ඒ අනුව සවුදි රාජ්‍ය නායකත්වය වෙත කරුණු දැක්වීමේදී තමන්ට ලබාදිය හැකි උපරිම කලාපීය සහ ජාත්‍යන්තර සහයෝගය ලබාදෙන බවටද හිටපු ජනාධිපතිවරයා සහතික වී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට අභියාචනයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන රජයේ රාජ්‍යතාන්ත්‍රික යාන්ත්රණයට සමගාමීව, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද සවුදි බලධාරීන් සමඟ අඛණ්ඩව කරුණු සාකච්ඡා කරමින් සිටී. මේ අතර රජය විසින් සවුදි රජු වෙත යොමුකිරීමට නියමිත රාජකීය ක්ෂමාදාන ඉල්ලීම් පත්‍රය භාරදීම සඳහා පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක්ද ඉදිරියේදී සවුදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතය.







