ශ්රී ලංකා රජය විසින් පසුගිය සැප්තැම්බර් 22 වැනිදා ගැසට් පත්රයේ පළ කරන ලද ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (Protection of the State from Terrorism Bill - PSTA) සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) සිය මූලික නිරීක්ෂණ සහ තාක්ෂණික ඇගයීම ශ්රී ලංකා රජය වෙත භාරදී තිබේ.
දැනට ක්රියාත්මක ත්රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත (PTA) අහෝසි කර ජාත්යන්තර මානව හිමිකම් ප්රමිතීන්ට අනුකූල නව නීතිමය රාමුවක් සකස් කිරීමට රජය ගෙන ඇති ප්රයත්නය මෙහිදී ජගත් සංවිධානයේ ඇගයීමට ලක්ව ඇත. විශේෂයෙන්ම, පොලිසිය හමුවේ ලබාදෙන පාපෝච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීම ඉවත් කිරීම, නඩු පැවරීම් සහ රැඳවුම් නියෝග පිළිබඳ මධ්යම දත්ත ගබඩාවක් පිහිටුවීම, ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැය 48ක් ඇතුළත දැනුම්දීමේ අනිවාර්ය කොන්දේසිය සහ ප්රකාශනයේ නිදහස වෙනුවෙන් ඇතැම් සහන එක්කිරීම එම වාර්තාවේ ධනාත්මක පියවර ලෙස සටහන් කර තිබේ.
එහෙත්, කෙටුම්පතෙහි අඩංගු ඇතැම් වගන්ති තවදුරටත් පුළුල් විග්රහයකට ලක්විය යුතු බවත්, පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පෙර පුළුල් පාර්ශ්වීය සංවාදයක් මඟින් එය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් ජගත් වාර්තාව පෙන්වා දෙයි.
මූලික නිරීක්ෂණ සහ නීතිමය සංවාදය
ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ අතර ප්රධාන ක්ෂේත්ර කිහිපයක් පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇත:
* ත්රස්තවාදය පිළිබඳ අර්ථනිරූපණය:
කලින් කෙටුම්පත්වලට වඩා වරදේ සීමාවන් පටු කර තිබුණද, 3 වැනි වගන්තියේ අඩංගු කරුණු සාමාන්ය අපරාධ නීතිය යටතට වැටෙන සිදුවීම් පවා ආවරණය වන තරම් පුළුල් නොවිය යුතු බව පෙන්වා දෙයි. සාමකාමී උද්ඝෝෂණ, වෘත්තීය සමිති ක්රියාමාර්ග සහ මානුෂීය ආධාර සැපයීම් ත්රස්තවාදී ක්රියා විෂය පථයෙන් පැහැදිලිවම මුදාහැරීමේ අවශ්යතාව අවධාරණය කෙරේ.
* රැඳවුම් නියෝග සහ අධිකරණ මැදිහත්වීම:
සැකකරුවකු අත්අඩංගුවට ගත් මුල් අවස්ථාවේ සිටම පූර්ණ අධිකරණ අධීක්ෂණයක් පැවතීමේ වැදගත්කම වාර්තාව මතු කරයි. ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා වෙත පැවරෙන රැඳවුම් බලතලවලදී මහේස්ත්රාත්වරයකු හමුවට ඉදිරිපත් කිරීමේ කාලසීමාවන් සහ නීතිඥ සහාය රහසිගතව ලබාගැනීමේ අයිතිය ජාත්යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුතියට (ICCPR) අනුකූල විය යුතු බව සඳහන් වේ.
* විධායක බලතල සහ ආයතන තහනම් කිරීම:
සංවිධාන තහනම් කිරීම (Proscription Orders) සහ පුද්ගල ගමනාගමන සීමා කිරීම් (Restriction Orders) සඳහා පනවා ඇති කොන්දේසි කාලසීමාවකින් තොරව දීර්ඝ වීමට ඇති ඉඩකඩ වැළැක්වීම සඳහා ස්වාධීන ආවර්ජනා යාන්ත්රණයක් (Independent Review) පැවතීමේ වැදගත්කම පෙන්වා දී තිබේ.
* ත්රිවිධ හමුදාවේ මැදිහත්වීම සහ සිවිල් පරිපාලනය:
විශේෂ අවස්ථාවන්හිදී සන්නද්ධ හමුදාවන්ට සහ වෙරළාරක්ෂක බලකායට පැවරෙන සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීමේ බලතල, සිවිල් පොලිස් බලතලවල මූලිකත්වයට සහ සාමාන්ය අපරාධ නීති අධිකරණ බලයට යටත්ව ක්රියාත්මක වීමේ අවශ්යතාව සිහිපත් කරයි.
ජගත් කාර්යාලයේ ප්රධාන නිර්දේශ
නීති කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ස්වාධීන කොමිෂන් සභා, නීති ක්ෂේත්රයේ ප්රවීණයන් සහ සිවිල් සමාජය සමඟ එක්ව පුළුල් සමාලෝචනයක් සිදුකරන ලෙස ජගත් මහ කොමසාරිස් කාර්යාලය යෝජනා කරයි.
එහිදී ඉදිරිපත් කර ඇති ප්රධාන නිර්දේශ අතර:
1- ත්රස්තවාදය සහ ඊට අදාළ වැරදි පිළිබඳ නිර්වචනය වඩාත් පැහැදිලි හා පටු සීමාවක රඳවා තැබීම.
2- සෑම අත්අඩංගුවට ගැනීමක් සහ රඳවා තබා ගැනීමක් සඳහාම කඩිනම් අධිකරණ අධීක්ෂණයක් අනිවාර්ය කිරීම.
3- සැකකරුවන්ට නීතිඥ සහාය සහ ස්වාධීන පරිවර්තන පහසුකම් කිසිදු බාධාවකින් තොරව ලබාදීම සහතික කිරීම.
4- හමුදාමය මැදිහත්වීම් දැඩි ලෙස සිවිල් අධීක්ෂණයට යටත් කිරීම.
5- වධහිංසාව වැළැක්වීමේ ආරක්ෂණ විධිවිධාන තවදුරටත් ශක්තිමත් කිරීම.
මෙම කෙටුම්පත ශ්රී ලංකාව බැඳී සිටින ජාත්යන්තර මානව හිමිකම් ප්රමිතීන්ට පූර්ණ වශයෙන් ගැළපෙන පරිදි සකස් කරගැනීම සඳහා අවශ්ය තාක්ෂණික සහාය සහ නීතිමය උපදෙස් ලබාදීමට තමන් සූදානම් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අවසන් වශයෙන් දැනුම් දී තිබේ.
වැඩිදුර කියවීම සඳහා මූලාශ්ර:
UN OHCHR Technical Comments on Sri Lanka's PSTA Bill (Official Document)
UN Human Rights Council - Sri Lanka Country Overview & Mandates
සබැඳි ලිපි :
පැරණි කූඩුවකට අළුත් නමක් | ලයනල් බෝපගේ



