කටුනායක ගුවන්තොටුපළේ PCR රසායනාගාරය පෞද්ගලික අංශයට පැවරීමට කුමන්ත්‍රණයක්
දියත් කර ඇති බවට සෞඛ්‍ය වෘත්තීය සංවිධානයක් කරනු ලබන චෝදනාව ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සදහා විපක්ෂය සමාජ ගත කරමින් සිටින බොරු ප්‍රචාරවල තවත් කොටසක් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි. 
 
ඔහු පෙන්වා දෙන්නේ මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වූවක් බවයි.
 
කටුනායක ගුවන් තොටුපළේ PCR රසායනාගාරය පෞද්ගලික අංශයට පැවරීමේ කුමන්ත්‍රණයක් දියත්ව ඇති බවටත් ඊට විෂයභාර ඇමතිවරයා සම්බන්ධ බවට අදාළ වෘත්තීය සමිතිය කරනු ප්‍රකාශය හා ඊට සම්බන්ධ බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ඇමති ප්‍රසන්න රණතුංගගේ අත්සනින් යුතු ලිපිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඇමතිවරයාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.
 
 
එම නිවේදනය මගින් ඇමතිවරයා පෙන්වා දෙන්නේ කටුනායක ගුවන්තොටුපළේ අදාළ PCR පරීක්ෂණාගාරය ස්ථාපිත කෙරුණේ කොවිඩ් වසංගතය හේතුවෙන් ගුවන්තොටුපළ වසා දමා තිබු කලයේ දී බවයි. 
 
ගුවන් තොටුපළ වසා දමා තිබුණ ද විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට රජය තීරණය කිරීමත් සමග මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට PCR පරීක්ෂණ සිදු කිරීමට මෙම පරීක්ෂණාගාරය ස්ථාපිත කෙරුණු අතර ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම, සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීමේ වැඩසටහන, පෞද්ගලික වෛද්‍ය සැපයුම් ආයතනය, IOM ආයතනය හා මාස් හෝල්ඩින්ග්ස් ආයතනය  සම්බන්ධ විය. 
මීට අදාළ සෞඛ්‍ය උපකරණ ලබා දුන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගිනි. 
 
එමෙන්ම විවිධ ආයතන විසින් පරිත්‍යාග මට්ටමින් ද මේ සදහා අවශ්‍ය  උපකරණ ලබා දී තිබේ. 
 
මෙම පරීක්ෂණාගාරය ආරම්භ කළ දින සිටම විදෙස්ගතව සිට මව්බිමට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ  PCR පරීක්ෂණ සිදු කෙරුණු අතර ඊට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකෙරෙන (අහඹු ලෙස පවා) PCR පරීක්ෂණ සාම්පල් පරීක්ෂා කොට වාර්තා ලබාදීම ද සිදු කෙරුණි. 
 
විශේෂයෙන්ම දෙවැනි කොවිඩ් රැල්ල මිනුවන්ගොඩින් ආරම්භ වූ විට ඊට අදාළව ගම්පහ දිස්ත්‍රික්කයේ හා දිවයිනේ විවිධ ප්‍ර දේශවලින් ගනු ලබන PCR සාම්පල් පරීක්ෂා කොට වාර්තා ලබා දුන්නේ ද මෙම පරීක්ෂනාගාරයෙනි. 
 
ගුවන් තොටුපළ වසා දමා තිබු කාලයේ මෙරටට ගෙන් වූ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ සිදු කර ප්‍රතිඵල ලබාගැනීමට පැය 07-08 ක කාලයක් ගතවු අතර ඇතැම්විට ඒ සදහා දින 02- 03 ක කාලයක් ගත වූ බවට චෝදනා නැගුණි. 
  
එම කාලය තුළ ගුවන් තොටුපළ මෙහෙයුම් සිදු කෙරුණේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට පමණක් වන නිසා දෛනිකව පැමිණියේ එක් ගුවන් යානයක් හෝ දෙකක් පමණි. 
 
මේ අතර කාලය තුළ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඉල්ලීම පරිදි හෝටල්වල නිරෝධායනය සදහා අවස්ථාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකගතාවය පළ කිරීම නිසා විදෙස්ගත ශ්‍රමිකයන් වැඩි වශයෙන් දිවයිනට පැමිණීම සිදු විය. 
 
මුල් කාලයේ දි ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදු කෙරුණේ ද කටුනායක ගුවන් තොටුපළ ඇති PCR රසායනාගාරයෙනි. 
 
ප්‍රමාදය සම්බන්ධයෙන් දිගින් දිගටම මතු වූ ජනතා පැමිණිලි හා ගුවන් තොටුපළ සේවකයන් හා මගීන් මුහුණ දිය හැකි අවධානම ද සැලකිල්ලට ගෙන හෝටල් නිරෝධායනයට පැමිණෙන ගුවන් මගීන්ගේ PCR පරීක්ෂාව පෞද්ගලික රෝහල් මගින් අදාළ හෝටල් පරිශ්‍රය තුළත්, රජයේ නිරෝධායනයට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂාව අදාළ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටි ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින් හරහා එම මධ්‍යස්ථාන තුළත් සිදු කිරීමට සෞඛ්‍ය බළධාරීහු තීරණය කළහ.
 
ජනවාරි 21 සංචාරකයන්ට රට විවෘත කිරීමට රජය තීරණය කරන්නේ ඒ අතරතුරය. 
 
දිවයිනේ අහඹු PCR සංඛ්‍යාව වැඩි කීරීමත්, සෞඛ්‍ය අංශවලට සිදු කළ හැකි දෛනීක PCR සංඛ්‍යාවත් සැලකිල්ලට ගනිමින් දිවයිනට ජෛව බුබුළක් ලෙස පැමිණෙන සංචාරකයන්ගේ PCR පරීක්ෂණ ද පෞද්ගලික රෝහල් මගින් සිදු කිරීමට සෞඛ්‍ය අංශ එකගතාවය පළ කළහ. 
 
ඒ අනුව මෙරටට පැමිණෙන ගුවන් මගීන් සියලුදෙනාම එක්කෝ අදාළ හෝටල් පරිශ්‍රයක දී PCR පරීක්ෂාවකට ලක්වන අතර නැතිනම් රජයේ නිරෝධයන මධ්‍යස්ථානයක දී PCR පරීක්ෂාවකට ලක් වෙයි. 
 
මේ වන විට ගුවන් තොටුපළේ ස්ථාපිත PCR පරීක්ෂණාගාරයෙන් සිදු කෙරෙන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශ වල අහඹු ලෙස ගැනෙන PCR සාම්පල පරික්ෂාව පමණි. 
  
ජනවාරි මාසයේ සිට රට සංචාරකයන්ට විවෘත කිරීමත් සමග ගුවන් තොටුපළ ක්‍රම ක්‍රමයෙන් කාර්යබහුල වීමත් සමග දැඩි අධි ආරක්ෂිත කළාපයක පිහිටා ඇති මෙම රසායනාගාරය වෙත පිටස්තර වාහන හා පුද්ගලයින් පැමිණිමේ දී සාමාන්‍යයෙන් අනුගමනය කළයුතු විශේෂ ආරක්ෂිත විධි විධාන අනුගමනය කිරීමට ද ගුවන් තොටපළ පාලනාධිකාරීයට සිදු විය. 
 
ඊට විසදුමක් ලෙස කටුනායක ගුවන්තොටුපළ PCR පරීක්ෂණාගාරයේ ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් PCR උපකරණ දිස්ත්‍රික්කයේ ප්‍රධාන කොවිඩ් රෝහලක් වන මිනුවන්ගොඩ රෝහලේ ස්ථිපිත කිරීමට මම යෝජනා කළේමි. 
 
ඒ දිස්ත්‍රික්කයේ හා ඉන් පිටත PCR පරීක්ෂණ සාම්පල් පරීක්ෂාව වඩා ඉක්මණ් කිරීමේ අරමුණිනි. එහි අනෙක් අරමුණ වුයේ ගුවන් තොටුපළට අදාළ සාම්පල් ගෙන ඒමේ දී සෞඛ්‍ය අංශ නිළධාරීන් මුහුණදෙන දුෂ්කරතා අවම කිරීමය.
 
කොවිඩ් එන්නත්කරණයත් සමග ලිහිල් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉදිරියේ දී මෙරටට සංචාරක බුබුළ හෝ රජයේ දැනට ක්‍රියාත්මක ක්‍රමවේදයෙන් බැහැරව සංචාරකයන් ඇතුළු ගුවන් මගින් පැමිණිය හැකි බැවින් ගුවන් මගීන්ගේ පහසුව සදහා PCR පරීක්ෂණාගාරයක් තිබිය යුතු බවට අදහසක් පළ විය. 
 
 
නව රසායනාගාරයක් :
 
වාණිජ ගුවන් යානා මගින් තනි තනිව හෝ පවුල් ලෙස පැමිණෙන ගුවන් මගීන්ට අවශ්‍යනම් PCR පරීක්ෂාවක් සිදු කරගත හැකි වන පරිදි නව රසායනාගාරයක් ස්ථාපිත කළ යුතුය යන්න එහි දී මතු වූ ප්‍රධාන කරුණ වූයේය. 
 
මීට ප්‍රධාන වශයෙන් හේතුවුණේ තනි පුද්ගලයින් ලෙස පැමිණෙන අය හෝ පවුල් ලෙස පැමිණෙන අය හෝටල වල PCR පරීක්ෂාවකට යොමු නොවීමයි. 
 
හෝටල්වල පෞද්ගලික රෝහල් හරහා සිදු කෙරෙන්නේ කණ්ඩායම් වශයෙන් පැමිණෙන සංචාරකයන්ගේ හෝ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ නිරෝධායනය සදහා පැමිණෙන අයගේ PCR පරික්ෂාව පමණි.
 
කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිතව මෙම PCR  පරීක්ෂණාගාරය ඉදි කිරීමට යෝජනා වි ඇත්තේ රජයේ ප්‍රතිපාදන මගින් නොවේ. කොව්ඩ් වසංගතය හේතුවෙන් පවතින මූල්‍යමය තත්ත්වයන් සැලකිල්ලට ගෙන පෞද්ගලික සමාගමක් මගින් එය ඉදිකර වසර දෙකක කාලයක් සදහා ගුවන්තොටුපළට බිම්කුළිය ගෙවිය යුතු බව යෝජනාව විය. 
 
එමෙන්ම සෑම PCR පරීක්ෂාවක් සදහා අයකරන මුදලින් ප්‍රතිශතයක් ගුවන් තොටුපළ සමාගමට ලබා දිය යුතු බවට ද යෝජනා වි තිබේ. 
 
පෞද්ගලික සමාගමකට මෙම PCR රසායානාගාරය ඉදි කිරීමට අවසර ලබා දෙන්නේ නම් එම සමාගම ඉදිකරන රසායනාගරය අදාළ පහසුකම් සමග වසර දෙකකින් ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමට ආපසු නොමිලේ භාරදිය යුතු බවට ද කොන්දේසියක් ඉදිරිපත් ව ඇත. 
 
එමෙන්ම අදාළ කාලසීමාව (වසර 02) තුළ මෙම රසායනාගාරයේ ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයේ සුදුසු කණ්ඩායමක් PCR පරික්ෂාව සදහා පුහුණු කළ යුතු බවට ද යෝජනා වී තිබේ.
 
මෙය තවමත් යෝජනාවක් පමණි. 
 
සාමාන්‍ය යෙන් මෙවැනි යෝජනා නිරන්තරයෙන් ගුවන් තොටුපළට හා රජයේ ආයතනවලට ලැබේ. 
 
රටටත්, ජනතාවටත් වාසිදායක නම් හා රජයේ ප්‍රතිපත්ති උල්ලංඝණය නොවන්නේ නම් එවැනි යෝජනාවක් සලකා බැලීම වරදක් ද නොවේ.
 
 
පහුගිය යහපාලන සමයේ මෙරට රෝගීන් ගසාකමින් හා සෞඛ්‍ය ක්ෂේත්‍රය වළපල්ලට යවන විට මුණිවත රැකි ඇතැම් වෘත්තීය සමිති විපක්ෂයේ වුවමනාව ඉටු කිරීමට මෙලෙස බොරු සමාජගත කිරීමෙන් තහවුරු වන්නේ මෙම වෘත්තීය සමිති කටයුතු කරන්නේ ජනතාව හා රට වෙනුවෙන් නොවන බවයි. 
 
කොරහේ කිඹුලන් මවන ඔවුන්ගේ එකම අරමුණ වී ඇත්තේ බොරු කප්පරක් කියා හෝ ජනතාව ගොනාට අන්දවා නැවත සිය ගජමිතුරු රැළට බලයට ඒම සදහා ඉඩකඩ සලසා දීම පමණි.  
 
ජනතාව මෙවැනි බොරු චෝදනා වලට තවදුරටත් නොරැවටෙන බවත් මෙවැනි චෝදනා නගන්නන්ට හා සංවිධායන වලට ඉදිරියේ දී නිසි ප්‍රතිචාර ලැබෙනු ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
 
 
 
සබැඳි පුවත් :

 

 

 


 

 
The Leader TV

 

 

බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

 

එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්