'ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ' නමින් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ගොඩනගන නව සන්ධානයේ නායකත්වය

අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමට නියමිත බව එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එසේම, මෙම සන්ධානය ගොඩනැගීමට නිල දේශපාලන පක්ෂය සොයා ගනිමින් විශාල කාර්යභාරයක් ඉටුකළ අමාත්‍ය රාජිත සේනාරත්නට ලේකම් ධුරය ලබාදිය යුතු බවටත්, ජාතික සංවිධායක ධුරයට රවී කරුණානායක, චම්පික රණවක අමාත්‍යවරුන් දෙදෙනාගෙන් අයකු හෝ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පත්කළ යුතු බවටත් එජාප නායකයා වෙත යෝජනා ඉදිරිපත්ව ඇතැයි ද එම ආරංචිමාර්ග කියා සිටියි.

නව සන්ධානයේ සභාපති ධුරය සහ උප සභාපති ධුර හා උප ලේකම් ධුර බහුතරය එජාපය වෙතත් අනෙකුත් පක්ෂ නායකයින්ට ද එවැනි තනතුරු ලබාදීමටත් මේවනවිට සාකච්ජාවට ලක්ව ඇත.

මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් දැනට පිළිගෙන ඇති ලියාපදිංචි දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාව සංශෝධනය කරමින් මෙම අලුත් දේශපාලන පක්ෂය ස්ථාපිත කිරීමට නියමිතව ඇති අතර එහිදී අදාළ දේශපාලන පක්ෂයේ අයිතිකරුට නව සන්ධානයේ ප්‍රධාන තනතුරක් හා ඉදිරි මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබාදීමට එජාප නායකත්වය එකඟතාව පළකර ඇතැයි ද පැවසේ.

අගමැති රනිල් වික්‍රමසිංහගේ ආශීර්වාදය යටතේ නව පෙරමුණට අදාල එවැනි නිල කටයුතු සම්බන්ධිකරණය සිදුකර ඇත්තේ රාජිත සේනාරත්න හා රවී කරුණානායක යන අමාත්‍යවරුන් දෙදෙනාය.

එජාප සභාපති මොකුත් දන්නේ නැහැලු !

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව සන්ධානයක් ලබන මස 05 වන දා බිහි කරන බවත්, රටේ අනාගතයට ගැලපෙන නව ප්‍රතිපත්ති පදනම් කර ගනිමින් නව පෙරමුණ යටතේ ඉදිරි මැතිවරණ සඳහා තරග කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු එබව සඳහන් කලේ අවිස්සාවේල්ල පොදු වෙළෙඳ සංකීර්ණයට මුල්ගල තැබීමෙන් අනතුරුව ඊයේ (23) දින අවිස්සාවේල්ල නගරයේ සංවිධානය කර තිබූ ජන හමුවට එක්වෙමිනි. ඇමති චම්පික රණවක ද එම අවස්ථාවට එක්ව සිටියේය.

කෙසේවුවද එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් අමාත්‍යවරයා පවසන්නේ එවැනි අලුත් සන්ධානයක් ගැන හෝ එවැනි සන්ධානයක තනතුරු බෙදා ගැනීමක් සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි.

එවැනි අලුත් සන්ධානයක් ගොඩනගන්නේ නම්, පළමුව ඒ සම්බන්ධයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා අනුමැතිය ලබාගත යුතු බවත් අනිවාර්යයෙන්ම නව සන්ධානයේ මහ ලේකම් ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය යුතු බවත් මේ සම්බන්ධයෙන් අපවෙත තොරතුරු ලබාදුන් එජාප ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු අවධාරණය කර සිටියේය.

සබැඳි පුවත් :

සජිත්ට එරෙහිව 'චම්පික-රාජිත-ෆොනී-රවී' අශුද්ධ සන්ධානයක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්