'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන්නේ නම් ඊට එරෙහිව සටනක් දීමට සිටින එකම සුදුස්සා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බව එජාප නායක
අගමැති රනිල් වික්‍රමසිංහට ද පිළිගැනීමට සිදුව ඇතැයි ආචාර්ය සේනක ද සිල්වා (ෂා සිල්වා) පවසයි.
ෆොන්සේකා මන්ත්‍රීවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක හා 'අපේ ජාතික පෙරමුණේ' සභාපතිවරයා ද වන ආචාර්ය සේනක ද සිල්වා එබව සඳහන් කළේ, ඔහු ඊයේ (05) පස්වරුවේ අගමැතිවරයා හමුවූ අවස්ථාවේදී සිදුවූ කතාබහ සම්බන්ධයෙන් 'ද ලීඩර්' කළ විමසීමකදීය.
ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවහොත් එජාප අලුත් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා ඉදිරිපත් කර අගමැති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ
ඉදිරිපත් වීමටත්, කිසියම් ලෙසකින් පොහොට්ටුවෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් වුවහොත් අගමැතිවරයාම ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විමටත් නියමිත බව ඔහු සඳහන් කළේය.
''2010 දී ෆොන්සේකා පොදු අපේක්ෂකයා කරන්න හොඳනම් දැන් කාටවත් එකට විරුද්ධ වෙන්න හේතුවක් නැහැනේ..සුළු ජාතික පක්ෂත් ෆොන්සේකා දානවට කැමතියි. මම ඒගැන ඒ පක්ෂවල නායකයින් සමග කතා කරලයි අගමැතිතුමා එක්ක සාකච්ජා කලේ. රවී කරුණානායක ඇමැතිතුමාත් ඉන්නේ ඒ මතේ.'' ඔහු කියා සිටියේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණය ජනතාවගේ අනෙකුත් සියලු ප්‍රශ්න යටපත් කරමින් ප්‍රමුඛ අවශ්‍යතාවය බවට පත්ව ඇති බවත් රාජපක්ෂ කඳවුරෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන්නේ ඒ අනුව බවත් පැවසු සේනක සිල්වා, ඊට එරෙහිව සජිත් ප්‍රේමදාස හෝ කරු ජයසුරිය වන්නකු ඉදිරිපත් කිරීම අන්ත පරාජයකට හේතුවනු ඇති බවත් කියා සිටියේය.
''ගෝඨා දකිනකොට සජිත් පුටුවෙන් නැගිටිනවා. කරු ජයසුරිය හොඳයි, එත් ගෝඨාට තරඟයක් දෙන්න හිතන්නවත් බැහැ. ඉතින් එහෙම අය දාලා දිනනන් පුලුවන්ද'' ඔහු වැඩිදුරටත් විමසා සිටියේය.
පක්ෂ නායකත්වය රැකගැනීමේ සුදානම :
මිට පෙර අවස්ථා දෙකකදීම (2010 හා 2015) පරිදි මෙවරද ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නැයි එජාප නායකයාට පක්ෂයේ අභ්‍යන්තරයෙන් බලපෑම් එල්ලවී ඇති අතර එම බලපෑම් දැඩි වුවහොත්, එක්සත් ජාතික පක්ෂයෙන් පිට අයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම අගමැතිවරයාගේ අදහස වී ඇතැයි අරලියගහ මන්දිර ආරංචිමාර්ග පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී අලුත් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට සුදානම් වන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ විසින් රාජිත සේනාරත්න, චම්පික රණවක හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මැති ඇමතිවරුන් වෙත මිට ඉහතදී ද දැනුම් දී තිබිණ.
මිට මාස කිහිපයකට ඉහත දී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නිවසටම ගොස් ඔහුට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි ද රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කර තිබිණ. එහෙත් ඒ සම්බන්ධයෙන් එජාප අභ්‍යන්තරයෙන් දැඩි විරෝධයක් එල්ලවූ අතර ඉහත නම් සඳහන් මැති ඇමතිවරුන්ට සුදානම් වන්නැයි අගමැතිවරයා දැනුම්දී තිබුනේ ඉන් අනතුරුවය.
සන්ධාන ගිවිසුම් ගැසීමට පෙර ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නැයි එජාපයේ බහුතරයක් මහජන නියෝජිතයින් මෙන්ම ආණ්ඩුවට සම්බන්ධ සුළු ජාතික පක්ෂ ද මේවනවිට අගමැතිවරයාට බලපෑම් කරමින් සිටිති.
ජනපති අපේක්ෂකයා රනිල් - සජිත් එකඟතාවයෙන්
කෙසේවුවද, එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තීරණය එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන දෙදෙනා අතර එකඟතාවයක් මත සිදු විය යුතු බවට ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ඊයේ (05) යෝජනා විය.
අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ (05) පස්වරුවේ පැවැත්විණ.
පක්ෂ නායකත්වය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා මුණ ගැසී එකඟතාවයක් ඇති කරගන්නා තෙක් ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශ කිසිවක් සිදු නොකළ යුතු බවට ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී බහුතර මතය ලෙස ප්‍රකාශයට පත් කෙරිණ.






